Posts

Showing posts with the label Sinhala

හතුරකුටත් නුඹ ඇසු ගී දෙන්න එපා...

Image
සිත නොව ගතයි ගීයෙන් දැන් අමතන්නේ වැර නැති දෙපය වුව නටමින් රඟ දෙන්නේ පෙර කල ගැයූ ගී නැතිදෝ රස දෙන්නේ නව නළු රසය කෙලෙසද පුත හඳුනන්නේ මන්දෝ පුතුණි ඔබ ඔය අසනා ඔව්වා රසදේ පුතුණි අප බාලේ ඇසු එව්වා උඩ පැන නටා අප පොඩි කල කී මෙව්වා අප හද පතුලෙ උණුසුම් මිහිරක් මැව්වා කාලේ වෙරළෙ හැපි හැපි පෙර මැකි ගීත රැප් කර යළිත් උණුසුම දුණි රෑ සීත අසනුය පුතුණි ඉතිහාසයෙ පෙර ඈත "ප්‍රණෙ හනි" වෙන්ට කෑ සඟ බොධි සුවිනීත ආදර හැඟුම් රෑ සඳ වතුරෙන් ආවා පතමින් පැතුම් පෙම් කොඳ මල් ඇහැරේවා පිවිතුරු පැතුම වේ මේ රැය මගෙ වේවා ඇසුවෙද කියනු අද මගෙ සඳ ඔබ වේවා පෙර කල කවින් අඳ රාගෙන් උමතු වැටී ගත හැකි කීය ළඳකගෙ ඉඟ කළත් මිටී දැනගනු කවිය ළඳකගේ සිරි කියන හැටී තරමට ඉඟෙන් පොඩි පුරඟන ළදොත් වටී මුතු මිණි නැතිය දෙනු ඔබ හට සළුද කසී අද පල නැතිය මට ඔබ නැති ලොවෙන් කිසී තරු මිණි පාවි ඔච්චම් පෙම් සිනහ සිසී කිව යුතු නුඹත් මතු නුඹ පෙම් කළොත් නිසී කංසා ඔසුව වේ ලිව්වේ පොරණ වෙදා කිව්වට දුකා ගස් යැව්වේ නැද්ද එදා පැණි රස කෑම කා කංසා බොන්න මෙදා සොකරිට නුඹේ හැක සයනේ ඉන්න නිදා...

නව අවුරුදු හිත අවුරුදු කන දාය .....

Image
දහසක් අඳුර මැද හිත දිදුලන දාය සිසිලස මකා හද උණුසුම දෙන දාය දුක් ගී මැදින් මී රස මතු වන දාය නව අවුරුදු හිත අවුරුදු කන දාය නව අවුරුද්දෙ සිතු පැතු දේ ඉටුවෙන්න කරදර නැතිව සිත සතුටින් ඉපිලෙන්න සිතටත් එක්ක අද දින අවුරුදු කන්න පතනෙමි ඔබට සුබ නව වසරක් වෙන්න.........

මමත් වැන්ද අද පති කුලයට යන්න…

Image
තැන තැන කතා බහ සිනහව ඇත රැඳුණ නෙක නෙක පාට නාදළු පවනේ දිලුණ හීන් හඬින් විට විට කැකිරිද පැලුණ වසත් කලෙක මිහිරකි පවනේ රැඳුණ හිරවී සිටිති මේසෙට පුටුවට ගැහැණු හිනා කටයි ඇස් යට රැවුමක් රැඳුණු "ගණිතය නොවෙද කළෙ මෙවරත් නැත ළකුණු මොරටුවෙ කියල ගෙදරට වී ඇත පුතණු" "එළවළු හරි ගණන් ඊයේ නැද්ද මෙයා අඩුවට ගන්නෙ අද කොයි කඩයෙන්ද ඔයා පඩියෙන් අඩක් ඉවරයි කෑමටම කියා හස්බන්ඩ් මට කිව්ව ෆුඩ් සිටි යන්න මෙයා" අල්ලපු මේසෙ ඇත හස්බන්ඩ් පෙර කීව ටයි පොළු පැළඳ දාඩිය ගැන ගතු කීව "බැළුවේ නැද්ද කාරෙක මං අර කීව අඩුවට ගන්න හැකි නව එන්ජිම තීව" මිතුරා වැලි කෙළියෙ දුව පැන නටපු මගේ මගුල් ගේ අදයි ලොකු අක්කගේ උගේ කළුවර ගහට ගිය දැසමන් වැලක් වගේ අක්කා සිටියි එල්ලී අයියගේ ඇඟේ මිතුරා ෆොටෝ ටික ගෙන දෙන්නට කීවා පෝරුවෙ සිරිත් කර යුවළද බැස ආවා පිහියද දරා අක්කා මදහස පෑවා රීලය ඉවර වී ඇත මා පැන දීවා "ළමයින් හට කවා හේමා ඔබ කන්න මම මේ ඉන්නෙ බඩගිනි වන් තුරු බොන්න පිරිමින් කැමති ගැහැණුන් හට ඉඩ දෙන්න" හස්බන්ඩ් කියයි අද සිහ වෙස් ගෙන ඉන්න "මට නම් නොහැක දැන් සීනිද තෙල් කන්න ඩොක්ටර් මට කිව්ව ඉන් වැලක...

සරසවි කුමරි වෙනතක් බැලුවද මන්දා….

Image
පැයකට දෙකට ගණ දෙවි නැණ ලද  හන්දා සරසවි ආමි දහසක් පැතුමන්   රන්දා සීතාවක සොයා ඈ අතැඟිලි   බන්දා ගෙනයමි දිනෙක සිරිකත භවනට   කැන්දා නොවිඳි දුකක් විඳ සීතාවක   හන්දා වසරක් දෙකක් මා දුර සිට පෙම්   බැන්දා රාමා අවුත් වානර සෙනඟද  කැන්දා ගෙනගියෙ සදා පාලම කාගෙද මන්දා      දෙසුම් හලේ නැළවිලි සවනත   රන්දා සිහින ලොවක මා පාවී ගිය හන්දා අතරින් පතර හිස් පිටු මත ඇස  රන්දා අසරණ කුමරි සරසවි නිති ඉකි බින්දා අත්ලට සිඟා ඉඳුලක් නොබුදින හන්දා වල්කොළ බිම අතුට බිම නොනිදන  හන්දා කල්ගිය රෙදි වැරළි නොම හඳිනා  හන්දා සරසවි කුමරි වෙනතක් බැලුවද මන්දා

පියඹන්න හැර පියා ජීවිතයෙ කහල ගොඩ…

Image
කිම කියනු එක තැනම ජීවිතයෙ කහල ගොඩ ගොඩ ගැසී පල් වේයි ? නොදුටුවෙද මැසි මදුරු , අමා සුව ලද අයුරු , තුටින් රඟ දෙන මියුරු ? නොදැනේද මේ දුගඳ උන් වසා නැගි අයුරු ? නැත උන්ට කිසි වගක්! කහල ඇති නම් තුටින් , කිම සොයනු වෙන මගක් , රඟ දෙවනු යළි ඉතින්… නිසල නිල් අහස් ගැබ කිමද උන් අඳුරු කර ? විලස සුදු සිල් රෙද්ද දැලි වැකී ඇති සෙයක්. නැද්ද උන් සිත් දෙන්නෙ කහල ගොඩ හැර යන්න ? මල් කැකුළු පූදන්න හිරුට ඉඩ කඩ දෙන්න , මහ පොළොව සිප ගන්න හිරුට ඉඩ සලසන්න ? දොළ පහර හැපි හැපී , මවන මුදු සංගීතෙ , මිහිර විඳ සැනසෙන්න , ලොවට ඉඩ කඩ දෙන්න . එපා පියපත් සලා , ඒ සුවය කෙලෙසන්න ! ආස ඇයි මිය යන්න ශාපලත් උන් ලෙසින් අත්ල අතරක තැලී ? කහල ගොඩ පොහොර වී , මල් කැකුළු පිපෙන දින , යළි එන්න නිවස වෙත සමනළුන් මෙන් තුටින් . ජීවිතයෙ රොන් බිංදු උරා රස විඳින කල , මැසි මදුරු දත්තාවෙ , අම බොජුන කසල නොව , රතු රුධිර බිඳද නොව , මල් රොනම පමණ බව… ඒ දිනය ලැබ ගන්න , මැසි මදුරු තොපි සැවොම නොපමාව ඉගිලෙන්න ! කහල ගොඩ හැරපියා , හිරුට ඉඩ සලසමින් මහපොළොව සිප ගන්න , කහල ගොඩ මල් පිපී සුවඳ දැනෙනා කලට , යළි එන්න නිවස වෙත සමනළුන් මෙන් තුටින , මල් සුවඳ තවර ...

මන්ද තව නුඹ නාව....

Image
මහ පොළොව ගිම් ලෑව වැලි දූලි දඟ පෑව සුළඟ සුසුමන් ලෑව මන්ද තව නුඹ නාව සමනළුන් නෑ තාම මල් සුවඳ දෙනු කෝම                           අතු ඉපල් වී මේම පමා වැඩි නුඹ බෝම දා කඳුළු පිසලන්න තුරු වදුලු සරසන්න මල් සුවඳ පතුරන්න නොපමාව නුඹ එන්න...

මගේ ගෑනි ලෙඩ වාට්ටුවකි

Image
මා අද කියන්නට යන්නේ අමුතුම කතාවකි. ඒ මාගේ අඹුවගේ සෞඛ්‍ය තත්වය ගැනයි. මුලින්ම මා කිව යුතු දෙය වන්නේ මා අඹුව ගෙදරට කැන්දාගෙන ආවේ මීට වසර දෙකකට පමණ පෙර බවයි.ඈ බම්බලපිටිය ප්‍රදේශයේ උපන්නියකි. ඇත්තටම කිවහොත් ඈ උපන්නේ කොහේදැයි කීමට තරම් මට දැනුමක් නැත. මන්ද යත් අපි කවුරු කවුරුත් එන්නේ කොහි සිටද යන්නේ කොහාටදැයි කීමට තරම් දැනුමක් අපි කාටවත් නැති නිසාය.එම නිසා මම දන්නේ මා ගෙදරට කැන්දාගෙන එනවිට ඈ බම්බලපිටියේ වාසය කළ බව පමණි. වෙනත් වචන වලින් කිවහොත් මගේ මාමණ්ඩිය හා නැන්දනිය වසන්නේ බම්බලපිටියේය.             රූපයට රැවටෙන්නට එපා යැයි මට මගේ අම්මා පවසා තිබූ නිසාත් ජීවිතයටම වරක් පමණක් ලැබෙන චාන්ස් එකක් නිසාත් මම මට තේරෙන තරමට හොඳ යහපත් අඹුවක් ගෙදරට කැන්දාගෙන ආවෙමි.එක මොළයේ පළු දෙකක් ඇති ගෑනියකට වඩා හොඳින් වැඩ පළ කරන බැවින් මම එක වර මොළ දෙකකින්ම වැඩ කරනා අඹුවක් ගෙදරට ගෙන ආමි.( මගේ අඹුවට මොළ දෙකක් ඇත්තේ කොහොමදැයි මගෙන් අසා පලක් නැත. එය තනිකරම පරීක්ෂණාත්මකව නිගමනය කර ගත් දෙයකි. සමහර විට මගේ ආදර නැන්දනිය නම් එය දන්නවා ඇත.)     ...

කව පඬුරු වේ ඔබට මා දිවිය සරු කෙරූ.....

Image
මේ කවිය ලියන්න හිතුනේ කැම්පස් එකේ විභාගේ කාලේ අපි දරපු ආතතිය අන්තයටම වැඩි වෙලා ඒක නිවා ගන්න කියලා පොඩ්ඩක් එළියට පහළියට  බැස්ස වෙලාවක. කොහොම උනත් අපේ කැම්පස් එකේ විභාග කාලෙට අනිත් කැම්පස් වලට වඩා ආතතිය වැඩියි කියලා මට හිතෙනවා. මම ඒක කිව්වේ අනිත් කැම්පස් පහළට දාන්න හිතාගෙන නම් නොවෙයි. ඒ බව මම දැන් කියන්න යන දේ පොඩ්ඩක් සාවධානව අහගෙන හිටියොත් තේරෙයි.             අපේ කැම්පස් එක කොහොම උනත් තාක්ෂණික අධ්‍යාපන  ආයතනයක් විදියට තමයි ප්‍රසිද්ධ. ඉතින් අපේ කැම්පස් එකේ ඉන්න උන්දැලා  හා ඉන්දියොලා වැඩ කරන්නේ තනිකරම සූත්‍ර ගත වැඩ පිළිවෙළක් අනුව. ( ඉන්දියො කියලා මම කිව්වේ උන්දැලා ගේ වෙන්ඩ හාමිනේලාට ; ආ! තව දෙයක් , අපේ කැම්පස් එකේ සිසු  කුලක දෙක වෙන්නේ ගැහැණු හා පිරිමි නොවෙයි. කොල්ලෝ හා උන් කීප දෙනෙක් ගේ වෙන්ඩ හාමිනේලා කියලා. එයින් ගම්‍ය වෙනවා වෙන්ඩ හාමිනේලා වෙන්න සුදුසුකම් නොසපුරපු අය නැති බවත් හිටියත් නොගොනිය හැකි තරම් කියලා නොසළකා හැරිය හැකිබව.කොහොම උනත් ජන අනුපාතය අනුව ඒක එහෙම තමයි. අනික තමා කාන්තා පාර්ශවයේ සැළකිය යුතු ජනගහන වර්ධන වේගයකුත් නැහැ.) ...

මුල් අකුරු නොකියවූ මුල් ගුරුතුමිය ඔබ.......

Image
මුල් ගුරුතුමී ඔබ මුල් අකුරු නොකියවූ ආ විගස තැන් මාරු ලබා ගෙන කොළඹ ගිය මා පාසලට ආ එකම මුල් ගුරුතුමිය ඔබ අයනු කියා දී මට ආයනු කියා දීමට සුවච සිසුවකු සෙවූ ඔබ තවම ගුරුතුමිය මුල් අකුරු නොකියවූ ඔබ කියා දුන් සතර ඇත තවම සිත රැඳී ඒ සතර අනු යමින් පුදමි ඔබ යළි ඉතින් මුල් අකුරු නොකියවූ මුල් ගුරුතුමී ඔබ ගුරු පඬුරු පුදන මම නොවෙමි ඔබ පළමු සිසු නමුදු ඔබ නම් ඉතින් මුල් ගුරුතුමිය මය මුල් අකුරු නොකියවූ