මමත් වැන්ද අද පති කුලයට යන්න…

තැන තැන කතා බහ සිනහව ඇත රැඳුණ
නෙක නෙක පාට නාදළු පවනේ දිලුණ
හීන් හඬින් විට විට කැකිරිද පැලුණ
වසත් කලෙක මිහිරකි පවනේ රැඳුණ

හිරවී සිටිති මේසෙට පුටුවට ගැහැණු
හිනා කටයි ඇස් යට රැවුමක් රැඳුණු
"ගණිතය නොවෙද කළෙ මෙවරත් නැත ළකුණු
මොරටුවෙ කියල ගෙදරට වී ඇත පුතණු"

"එළවළු හරි ගණන් ඊයේ නැද්ද මෙයා
අඩුවට ගන්නෙ අද කොයි කඩයෙන්ද ඔයා
පඩියෙන් අඩක් ඉවරයි කෑමටම කියා
හස්බන්ඩ් මට කිව්ව ෆුඩ් සිටි යන්න මෙයා"

අල්ලපු මේසෙ ඇත හස්බන්ඩ් පෙර කීව
ටයි පොළු පැළඳ දාඩිය ගැන ගතු කීව
"බැළුවේ නැද්ද කාරෙක මං අර කීව
අඩුවට ගන්න හැකි නව එන්ජිම තීව"

මිතුරා වැලි කෙළියෙ දුව පැන නටපු මගේ
මගුල් ගේ අදයි ලොකු අක්කගේ උගේ
කළුවර ගහට ගිය දැසමන් වැලක් වගේ
අක්කා සිටියි එල්ලී අයියගේ ඇඟේ

මිතුරා ෆොටෝ ටික ගෙන දෙන්නට කීවා
පෝරුවෙ සිරිත් කර යුවළද බැස ආවා
පිහියද දරා අක්කා මදහස පෑවා
රීලය ඉවර වී ඇත මා පැන දීවා

"ළමයින් හට කවා හේමා ඔබ කන්න
මම මේ ඉන්නෙ බඩගිනි වන් තුරු බොන්න
පිරිමින් කැමති ගැහැණුන් හට ඉඩ දෙන්න"
හස්බන්ඩ් කියයි අද සිහ වෙස් ගෙන ඉන්න

"මට නම් නොහැක දැන් සීනිද තෙල් කන්න
ඩොක්ටර් මට කිව්ව ඉන් වැලකී ඉන්න
අක්කගෙ දෝණි බඳිනා සතුටට ඔන්න"
බත්පත මුවාවේ හැක සැඟවී ඉන්න

ගී සර ඇසේ "මා මග නොහැරපන් පපන්"
ඉඟ සුඟ වැනේ ළඟ ඉන්නට බයය සිටන්
එකක් දෙකක් වී පෙනෙනා බමන මතෙන්
පියා නටයි දුව වෙන කෙල්ලෙකැයි සිතන්

විසිපස් වසක් මට ඇඳ කන්නට දුන්න
කෙලෙසද අම්මෙ බැහැ ඒ ණය පිය වන්න
දුටු දුටු දෑසෙ කඳුළැලි පුරවා මෙන්න
අක්කා හඬයි "මට අද නම් බැහැ යන්න"

රෑවෙන නිසා ආපසු නිවසට එන්න
වැඳ සිටි යුතුය වැඩිහිටියන් , පෙර යන්න
අක්කා වැන්ද පසු බෑ කිය කිය ඔන්න
මමත් වැන්ද අද පති කුලයට යන්න....

Comments

  1. කවියට බැස්සද ??

    ඉස්සරහට එහෙම නම් කවි පොතක් අපිට කියවෙන්න ලැබෙයි වගේ :)

    ReplyDelete
  2. කාලෙකින් කතාවක් ලියන්න වුනෙත් නැහැ තමයි. බ්ලොග් එකම තමා කවි පොත...:)

    ReplyDelete

Post a Comment

රටේ ලෝකෙන් බැණුම් අහලාවත් හැදෙන්නේ නැතෑ....
ඉතින් මුව හමට තඩිබාන එකයි ඇත්තේ හොදටෝම......

Popular posts from this blog

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොව මගේ වගකීමකි.(පෞද්ගලික වි.වි.කතාවේ පැතිකඩක්.)

The Condemned!