පියඹන්න හැර පියා ජීවිතයෙ කහල ගොඩ…
කිම කියනු එක තැනම
ජීවිතයෙ කහල ගොඩ
ගොඩ ගැසී පල් වේයි?
නොදුටුවෙද මැසි මදුරු,
අමා සුව ලද අයුරු,
තුටින් රඟ දෙන මියුරු?
නොදැනේද මේ දුගඳ
උන් වසා නැගි අයුරු?
නැත උන්ට කිසි වගක්!
කහල ඇති නම් තුටින්,
කිම සොයනු වෙන මගක්,
රඟ දෙවනු යළි ඉතින්…
නිසල නිල් අහස් ගැබ
කිමද උන් අඳුරු කර?
විලස සුදු සිල් රෙද්ද
දැලි වැකී ඇති සෙයක්.
නැද්ද උන් සිත් දෙන්නෙ
කහල ගොඩ හැර යන්න?
මල් කැකුළු පූදන්න
හිරුට ඉඩ කඩ දෙන්න,
මහ පොළොව සිප ගන්න
හිරුට ඉඩ සලසන්න?
දොළ පහර හැපි හැපී,
මවන මුදු සංගීතෙ,
මිහිර විඳ සැනසෙන්න,
ලොවට ඉඩ කඩ දෙන්න.
එපා පියපත් සලා,
ඒ සුවය කෙලෙසන්න!
ආස ඇයි මිය යන්න
ශාපලත් උන් ලෙසින්
අත්ල අතරක තැලී?
කහල ගොඩ පොහොර වී,
මල් කැකුළු පිපෙන දින,
යළි එන්න නිවස වෙත
සමනළුන් මෙන් තුටින්.
ජීවිතයෙ රොන් බිංදු
උරා රස විඳින කල,
මැසි මදුරු දත්තාවෙ,
අම බොජුන කසල නොව,
රතු රුධිර බිඳද නොව,
මල් රොනම පමණ බව…
ඒ දිනය ලැබ ගන්න,
මැසි මදුරු තොපි සැවොම
නොපමාව ඉගිලෙන්න!
කහල ගොඩ හැරපියා,
හිරුට ඉඩ සලසමින්
මහපොළොව සිප ගන්න,
කහල ගොඩ මල් පිපී
සුවඳ දැනෙනා කලට,
යළි එන්න නිවස වෙත
සමනළුන් මෙන් තුටින,
මල් සුවඳ තවර ගෙන
දොළ මියුරු මියැසි මැද...
Comments
Post a Comment
රටේ ලෝකෙන් බැණුම් අහලාවත් හැදෙන්නේ නැතෑ....
ඉතින් මුව හමට තඩිබාන එකයි ඇත්තේ හොදටෝම......