ට්‍රම්ප් පදවි ප්‍රාප්ති දේශනය

ඇමරිකානුවන් ලෙස අපි සියළු දෙනාම, අප රට යළි ගොඩ නැගීමේ සහ එහි ජීවගුණය සියලු රට වැසියන් කෙරෙහි ප්‍රතිස්ථාපනය කිරීමේ අති මහත් ජාතික කර්තව්‍යයේ නිරතව සිටින්නෙමු.

ඉදිරි වසර ගණනාවක් සඳහා ඇමරිකාවෙහි මෙන්ම ලෝකයේද ගමන් මග අපි එක්ව තීරණය කරන්නෙමු. අපි අභියෝගයන්ට මුහුණ දෙන්නෙමු, පීඩාවන්ද ජයගන්නෙමු, කෙසේ හෝ එම කාර්යය සාර්ථක කරන්නෙමු.

සෑම වසර හතරකට වරක් මෙම පියගැට පෙළ අසල අපි  ක්‍රමවත් මෙන්ම සාමකාමී බලය පැවරීමක් සඳහා රැස්වන මෙම අවස්ථාවේදී ජනාධිපති ඔබාමා සහ ජනාධිපති ආර්යා මිෂෙල් වෙත අපි අපේ කෘතඥතාව පුද කර සිටින්නෙමු. ඔවුන් අති විශිෂ්ටයි, "ස්තූතියි!"

ඒ කෙසේ වෙතත්, අද දින උත්සවය විශේෂ අරුතක් දරන්නේ එක් පාලන තන්ත්‍රයකින් වෙනකකට හෝ එක් පක්ෂයකින් අනෙකකට බලය පැවරීම පමණක්ම සිදුනොවන නිසාවෙනි. අද දින වොෂින්ටනයෙහි හුවමාරුවන බලය, යළි ජනතාව වෙත පැවරීමක්ද සිදුවන නිසාවෙනි.

ඉතා දිගු කලක් තිස්සේ, අප අගනුවර වෙසෙන සුළු පිරිසක් විසින් පාලනයෙහි ප්‍රතිඵල භුක්තිවින්දේ, සාමාන්‍ය ජනතාව එහි වියදම් දරන අතරය. වොෂින්ටනය දිනෙන් දින සමෘධිමත් වූ මුත්, එම ධනය බෙදා හැරීමක් සිදු නොවුණි. දේශපාලනඥයින් ධනවත් වූ මුත්, රැකියා අවස්ථාවන් අවම විය, කර්මාන්ත ශාලාවන් වැසී ගියේය. පාලන තන්ත්‍රය  ජනතාවගේ නොව, තමන්ගේ ආරක්ෂාව මුල් තැනක ලා  කටයුතු කළේය. ඔවුන්ගේ දිනුම් ඔබේ දිනුම් නොවූ ලෙසම ඔවුන්ගේ විජයග්‍රහණ ඔබේ විජයග්‍රහණ නොවීය. ඔවුන් අගනුවර ජය පැන් බීවද, රට පුරා ජීවන අරගලයක නියුතුව සිටි සෙසු  පවුල් වලට සැමරීමට හේතු කාරණා තිබුයේ අල්පයකි. 

එම සියල්ල මෙතැන් පටන් වෙනස් වීම ආරම්භ වන්නේ මෙම මොහොත ඔබට අයිති වන නිසාවෙනි.

මෙහි එක් රැස්ව සිටින ඔබ සැමත්, ඇමරිකාව පුරා විසිරී  සිටින නරඹන්නන් සැමත් මෙම අවස්ථාවෙහි අයිති කරුවන් වෙති. මෙය ඔබේ දිනයයි, මෙය ඔබේ සැමරුමයි. එමෙන්ම, ඇමරිකා එක්සත් ජනපදය ඔබේ රටයි!

වඩාත් වැදගත් වන්නේ කිනම් පක්ෂයක් අපගේ ආණ්ඩුව පාලනය කරන්නේද යන්න නොව, අප ජනතාව විසින් අප ආණ්ඩුව පාලනය කරන්නේද යන්නයි.

රටේ ජනතාව යළිදු රටේ පාලකයන් වූ දිනය ලෙස 2017 ජනවාරි 20 වන දින ඉතිහාසගත වනු ඇති.

අප රටෙහි අමතකව ගිය පුරුෂයින් සහ ස්ත්‍රීන් තවදුරටත් අමතක කරනු ලැබූවන් නොවනු ඇත.

රටෙහි සියළුදෙනාම දැන් ඔබට ඇහුම්කන් දෙන නිසාවෙනි. කෝටි ගණනින් රොද බැඳුණු ඔබ, ලෝකය මෙතෙක් නොදුටු විරූ ඓතිහාසික ව්‍යාපාරයක කොටස් කරුවන් වූ නිසාවෙනි.

මෙම ව්‍යාපාරයෙහි කේන්ද්‍රය වූයේ, ජාතියක් පවතින්නේ එහි පුරවැසියන්ට සේවය කිරීමට යන්නයි. ඇමරිකානුවන්ට ඔවුන්ගේ දරුවන් සඳහා විශිෂ්ට පාසල්ද, පවුල් සඳහා ආරක්ෂිත වටපිටාවන්ද, තමන් සඳහා හොඳ රැකියා අවස්ථාවන්ද අවශ්‍යය. මේ සියල්ල ධර්මිෂ්ට පුද්ගලයන්ගේ මෙන්ම ධර්මිෂ්ට ජනකායකගේද යුක්ති සහගත ඉල්ලීම් වේ.

නමුත් අපගේ පුරවැසියන් බොහොවක් සඳහා බලපවත්වන්නේ වෙනත්ම යතාර්ථයකි: නගර මධ්‍යයෙහි දුගී බවෙහි ගැලී සිටින මවුවරු සහ දරුවන්, සොහොන් කොත් සිහිගන්වමින් සිව් දෙස විසිරී පවතින මළ කෑ කර්මාන්තශාලා, මුදලින් පිරී ඇති මුත් අපගේ තරුණ ලස්සන දරුවන් දැනුමින් වළකන අධ්‍යාපන ක්‍රමයක් සහ වටිනා ජීවිත රැසක් අපෙන් සොරා ගෙන අපේ රටෙහි ඉටු නොවූ විභවයන් බොහොමයක් අපෙන් කොල්ලකෑ අපරාධ සහ මත්ද්‍රව්‍ය...

මෙම ඇමරිකානු සංහාරය මෙහිදීම සහ මෙම මොහොතේදීම නැවැත්විය යුතුව ඇත.

අප සියල්ලෝම එක ජාතියක් වන අතර ඔවුන්ගේ වේදනාව අපගේ වේදනාවද, ඔවුන්ගේ සිහින අපගේ සිහිනද වන අතර, ඔවුන්ගේ සාර්ථකත්වය අපගේද සාර්ථකත්වය වනු ඇති. අපි සියල්ලෝම එක් හදවතක්, එක් නිවහනක් මෙන්ම එක් දීප්තිමත් ඉරණමක් බෙදා හදා ගන්නෙමු. අද මවිසින් කරනු ලබන කාර්යාලයීය ප්‍රතිඥාව සියළු ඇමරිකානුවන් කෙරෙහි වන පක්ෂපාතීත්වය විදහා දක්වන ප්‍රතිඥාවක් වනු ඇති.

දශක ගණනාවක් පුරා, අපි ඇමරිකානු කර්මාන්ත කැප කරමින් විදේශ කර්මාන්ත නගා සිටවූයෙමු. ඉතා කණගාටුදායක ලෙස අප හමුදා ක්ෂය වීමට ඉඩ හරිමින්, විදෙස් හමුදා මුදලින් තර කර ඇත්තෙමු. අප දේශ සීමා රැකීම ප්‍රතික්ෂේප කරමින්, වෙනත් ජාතීන්ගේ දේශ සීමා ආරක්ෂා කර ඇත්තෙමු. ඇමරිකානු යටිතල පහසුකම් කැඩී බිඳී ජරාවාස වන්නට හැර, ඩොලර් ට්‍රිලියන ගණනින් විදේශයන්හි වියදම් කර ඇත්තෙමු. අප රටෙහි ධනය, ශක්තිය මෙන්ම ආත්ම විශ්වාසයද ක්ෂිතිජයෙහි සැඟව යන්නට ඉඩ හැර වෙනත් රටවල් ඉසුරුමත් කර ඇත්තෙමු.

මිලියන ගණනින් අනාථවන ඇමරිකානු සේවකයින් ගැන තැකීමක් නොමැතිව කර්මාන්තශාලා එකින් එක වසමින් රටින් පිටවිය. ඇමරිකානු මධ්‍යම පංතියෙහි ධනය , ඔවුන්ගේ නිවස්න වලින් උදුරා  මුළු ලොව පුරා බෙදා හැරුණි.

ඒ කෙසේ වතුදු, ඒ සියල්ල අතීතය වන අතර අපි දැන් අනාගතය වෙත පමණක් නෙත් යොමන්නෙමු.

අද මෙහි රැස්ව සිටින අපි සියළු දෙන එක්ව, සියළු නගරවල, ලොව සියළු අගනගර වල, සියළු බල කේන්ද්‍රයන් වල රැව් පිළිරැව් දෙන පරිදි නව ආඥාවක් ප්‍රකාශයට පත් කරන්නෙමු.  එනම්, අද පටන් නව දර්ශනයක් අප රට තුළ බලපවත්වනු ඇත යන්නයි. අද පටන් එය ඇමරිකාව පළමුව, ඇමරිකාව පළමුව පමණක්ම වනු ඇති.

සියළු වෙළඳ, බදු, ආගමන,විදේශ ප්‍රතිපත්ති සබැඳි තීන්දු, ඇමරිකානු වැඩ කරන ජනතාවගේ මෙන්ම ඇමරිකානු පවුල් වල ප්‍රතිලාභය උදෙසා සිදු වනු ඇති.  අන් රටවල් අප නිෂ්පාදනයන් කරමින්, අප සමාගම් සොරා ගනිමින් සහ අප රැකියා අවස්ථා විනාශ කරමින් කරනු ලබන කොල්ල කෑම් වලින්, අපි අපගේ දේශ සීමාවන් රැක ගත යුතුව ඇත.

එම ආරක්ෂාව අති විශිෂ්ට ඉසුරුමත් බවකට මෙන්ම ශක්තිමත් බවකටද අපව යොමු කරවනු ඇති. මගේ සිරුරෙහි අවසක් හුස්ම දක්වා මා ඔබ වෙනුවෙන් සටන් කරන අතර මම කිසිදා ඔබලා අත හැර නොදමන්නෙමි.

ඇමරිකාව යලි ජයලැබීම අරඹනු ඇති අතර එම ජයග්‍රහණ පෙර නොවූ විරූ වනු ඇති.
අපි අපගේ රැකියාද, දේශ සීමාද, අපේ ධනයද, අප සිහිනද යළි රැගෙන එන්නෙමු.

අපි අපගේ අසිරිමත් රට පුරා නව මාර්ග, අධිවේගී මාර්ග, පාලම්, භූගත මාර්ග මෙන්ම දුම්රිය මාර්ග ඉදි කරන්නෙමු. අපගේ පුරවැසියන් සුභසාධක වැඩපිළිවෙලින් මුදා ඇමරිකන් දෑත් සහ ඇමරිකන් ශ්‍රමයෙන් රට ගොඩනැගීමට යොමු කරන්නෙමු.

අපි සරල නීති දෙකක් පිළිපදින්නෙමු. එනම්, අපේ දේ ගැනීම සහ අපේ අය ගැනීමයි.

ලොව අනෙක් රටවල මිතුදම මෙන්ම හොඳහිත අප බලාපොරොත්තු වන අතර එහිදී එම රටවලටද තම අභිලාෂයන් මුල් තැන්හි තැබීමට ඇති අයිතිය පදනම්ව අපි කටයුතු කරන්නෙමු. අප ජීවන ක්‍රමය අන් කිසිවකු මත ආරෝපණය කිරීමට අප බලාපොරොත්තු නොවන අතර එය අන් අයටද පිළිපැදිය හැකි උදාහරණයක් ලෙස දිලෙන්නට සැලසීම අපි පතන්නෙමු.

පැරණි මිතුදම් වඩමින්, නවමු මිතුදම් ඇති කරමින්, සියළු ශිෂ්ට සමාජය අන්තවාදී මුස්ලිම් ත්‍රස්තවාදය ලෝ තලයෙන් අතු ගා දැමීම සඳහා අපි එකමුතු කරන්නෙමු.

ඇමරිකාව කෙරෙහි වන අපගේ පූර්ණ පක්ෂපාතීත්වය අපගේ සියළු ප්‍රතිපත්ති වල මුල් ගල වනු ඇති අතර, එතුළින් ම අප එකිනෙකා කෙරෙහි පක්ෂපාතීත්වයද අපි යළි සොයා යන්නෙමු. ඔබ දේශප්‍රේමය කෙරෙහි ඔබගේ හදවත විවෘත කළවිට පූර්ව අගතීන් සඳහා එහි ඉඩකඩ ඇහිරෙනු ඇති.

දෙවියන්ගේ දරුවන් සමගියෙන් වෙසෙන විට එය කෙතරම් යහපත්දැයි, ප්‍රසන්නදැයි බයිබලය අපට උගන්වයි. අපි අපගේ අදහස් විවෘතව ප්‍රකාශ කළ යුත්තෙමු, අසම්මතීන් විවෘතව විවාද කළ යුත්තෙමු, ඒ කෙසේ වතුදු සැමවිටම අපි සැමවිටම එකමුතුකම ලුහුබැඳ යා යුත්තෙමු. ඇමරිකාව එක්සත් වූ කල්හි එහි ප්‍රගමනය  කිසිලෙසකත් නැවත්විය නොහැකිවනු ඇත.

බිය යනු නොපැවතිය යුත්තකි. අප දැනටත් මින් මතුවටත් සදාකල්හිම ආරක්ෂා වී ඇත්තෙමු. හමුදාවෙහිත් , නීතිය බලාත්මක කරන ආයතන වලත් සේවය කරන ශ්‍රේෂ්ට මිනිසුන් අපව සදා රකිනු ඇති. වඩා වැදගත් වන ලෙස දෙවියන් වහන්සේ අප සදා ආරක්ෂා කරනු ඇති.

අවසන් වශයෙන්, අප වඩා අපේක්ෂා සහගත විය යුතු අතර, එයටත් විශාල සිහින දැකිය යුත්තෙමු. ඇමරිකානු දැක්මට අනුව ජාතියක් ජීවත් වන්නේ එය අරගල කරන තාක් පමණි. සියල්ල කතාවට සීමා කර සිටින අක්‍රිය දේශපාලනඥයන් අප තවදුරටත් අනුමත නොකරන්නෙමු.

හිස් විවාද වල කාලය අවසන්ව ඇත. දැන් එළඹ ඇත්තේ ක්‍රියාවෙහි මොහොතයි.

යමක් කළ නොහැකියැයි කිසිවකුට ඔබට පැවසීමට ඉඩ නොතබන්න.ඇමරිකාවෙහි අරගලය සහ ජීව ගුණය සමග තරග කිරීමට කිසිදු අභියෝගයකට නොහැක.අපි කිසි දිනෙක ඉන් අසමත් නොවන්නෙමු. අප රට නැවතත් ඉසුරුමත් වනු ඇති.

අප මේ සිටින්නේ, අභ්‍යවකාශයෙහි අභිරහස් දිගහැරීමට,ලෝකය රෝගාබාධ වල දුක්ඛිත බවින් මිදීමට, හෙට දිනයේ බලශක්තීන්, කර්මාන්ත සහ තාක්ෂණය උකහා ගැනීමට සූදානම් සහස්‍රකයක ආරම්භයේය. නව ජාතික අභිමානයක් අපව කළඹවා, අපගේ ඉලක්ක ඔසවා, අපගේ බෙදීම් සුවපත් කරනු ඇති.

අප කළුද, දුඹුරුද හෝ සුදුද යන්න නොතකා අප සියල්ලම දේශප්‍රේමීන්ගේ රතු රුධිරයම වගුරුවන බැව් මතක් කිරීමට දැන් කාලයයි.

අප සැවොම එකම තේජාන්විත ස්වාධීනතාවන් භුක්ති විඳිනාතර, අපි සැවොම ශ්‍රෙෂ්ට ඇමරිකානු ධජයට ගෞරව කරන්නෙමු.

ඉදින් කුඩා දරුවකු ඩිට්‍රොයිට් නාගරික ව්‍යාප්තියෙහි  ඉපදුණද, මද පවන් ගැවසෙන නෙබ්‍රස්කාහි තැන්නක ඉපදුණද, ඔවුන් දෙදෙනාම එකම රාත්‍රී ආකාශය දෙස බලනු ඇති, එකම සිහින වලින් ඔවුනගේ හද පුරවාගනු ඇති, එකම දිව්‍යමය නිර්මාපකයකු විසින්ම ඔවුන්ට ජීවයේ පෘථුල බව කාවද්දනු ඇති.

ඉදින්, දුර මෙන්ම ළඟ, ලොකු මෙන්ම කුඩා නගර වල සිව්දෙස වෙසන ඇමරිකානුවනි, මෙවදන් අසන්න: "ඔබව නැවත කිසි දිනෙක නොම නොතැකෙනු ඇති!"

ඔබේ හඬ, ඔබේ බලාපොරොත්තු, ඔබේ සිහින, අප ඇමරිකානු දෛවය නිර්ණය කරනු ඇති. එමන්ම, ඔබේ ධෛර්යය, යහපත් කම සහ දයාව අපට සදා මග පෙන්වනු ඇති.


එක්ව, අපි ඇමරිකාව යළි ශක්තිමත් කරන්නෙමු, අපි ඇමරිකාව යළිදු ඉසුරුමත් කරන්නෙමු, අපි ඇමරිකාව යළි සාඩම්බර කරන්නෙමු, එමෙන්ම අපි ඇමරිකාව යළි ශ්‍රේෂ්ට කරන්නෙමු!!!

Comments

  1. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය
    http://ahasgawwenehalokaya.blogspot.com

    ReplyDelete

Post a Comment

රටේ ලෝකෙන් බැණුම් අහලාවත් හැදෙන්නේ නැතෑ....
ඉතින් මුව හමට තඩිබාන එකයි ඇත්තේ හොදටෝම......

Popular posts from this blog

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොව මගේ වගකීමකි.(පෞද්ගලික වි.වි.කතාවේ පැතිකඩක්.)

The Condemned!