ගිහි සැප හැර පැවිදි වීම රෝමෑන්ටික් කිරීම....

මේ ලිපිය ලියන්නේ පසුගිය දින කීපය තුළ  මා බුකියෙහි දුටු ලිපි මාලාවන් කිහිපයක් නිසාවෙනි. පළමුවෙන්ම කිව යුතු වන්නේ අද දිගහරින මාතෘකාව ඉතා සංවේදී හෙයින් යම් හෙයකින් කිසියම් අදාළ පාර්ශවයකට සිත් රිදුමක් සිදුවන්නේ නම් සමා අ‍යැද සිටින බවය.

මේ ඉහත සඳහන් කළ සියළු ලිපි මාලාවන් බුකියෙහි පළවන්නේ පසු ගිය දින කිහිපයක පටන් අප රටෙහි වන විද්‍යුත් මාධ්‍ය භාවිතාවකම දිගුවක් වශයෙනි.

වර්තමාන අප රටේ මාධ්‍ය මගින් අසීමාන්තික ලෙස රෝමාන්තික කරණයට භාජනය වූ නවතම කාරණය ලෙස මා දකින්නේ "ගිහි ගෙය හැර යාම"යි. ඒ මාධ්‍ය ව්‍යාපෘතිය යටතේ පැවිදි බිමට පත්වීම හෝ එයට මුල් වූ කරුණු, දෙවන ගනයේ මාතෘකා වූ අතර මා දුටු සියලු පුවත් වල මූලික අවධානය යොමුව තිබුණේ හැර ගියේ කුමක්ද යන්න කෙරෙහිය.

උදාහරණයක් ලෙස ගත්විට සෑම පුවතකම දක්නට ලැබුණු මූලික කාරණා වූයේ,
1. පවුල් පසුබිම
2.අධ්‍යාපන පසුබිම
3. රැකියා මට්ටම
4. සමාජ සබඳතා
                                 ආදියයි.  මේ සියල්ල හැර දමා කතානායක තෙමේ/ තුමූ පැවිදි බිමට ඇතුලත් විය යන්න අවසානයේ පාදක සටහනක් ලෙස පමණක් ලිපි අවසානයේ එක් වී තිබුණි.

මේ බොහෝ අවස්ථාවන් වලදී විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලබා තිබීම, ඉහළ රැකියා තනතුරු දරමින් ආර්ථිකමය ස්ථාවරත්වයක් ලබා තිබීම, ඒ හේතු කොට ගෙන(ම) ශ්‍රී ලාංකික සමාජ ව්‍යූහයෙහි ඉහළ හෝ ඉහළ මැද පංතියට අයත් වීම අසීමාන්තිකව වැණෙනු දැකීම මේ ගැන මට තිබෙන ප්‍රධානම විවේචනයයි. (එසේ කිරීමට මා සතු අයිතිය ගැන මටද තවම හරි හැටි අවබෝධයක් නොමැති බව මම පිළිගන්නෙමි.)

ඒ විවේචනයට ප්‍රධාන වශයෙන්ම මා පාදක කර ගන්නේ එලෙස අත් හල දෙයම වැණීම නිසා;

1. පැවිදි වීමට ඔවුන් පෙළඹවූ සත්‍ය කරුණු රෝමාන්තික වර්ණනා අතරේ බොඳවී යන නිසාවෙන්,

මා විශ්වාස කරන බෞද්ධ ගිහියකු ලෙස සිට යන සසර ගමන, (ගිහියකු සඳහා බොදු උපමාව : මොණරා) ඊට ඉක්මන් කර ගැනීම පිණිසයි යම් කෙනෙක් පැවිදි බිමට ඇතුළු වන්නේ. (පැවිද්දා සඳහා බොදු උපමාව : හංසයා)
ගිහිකමේ පිල් බර මුදා හැර අහසෙහි ඉක්මනින් යන්නටයි බෞද්ධ ගිහියා පැවිදි වන්නේ.

මට දැනෙනා ලෙසට ඔවුන් මොණර පිල් බර මුදා හැරි පසුත් අපි පුවතක් විදියට මොණර පිලම රෝමාන්තික කරණයට ලක් කිරීමෙන්  වන්නේ, මොණර පිල් කලඹ හැර පියා අහසට නැගීමේ, බරපතල  එමෙන්ම බෞද්ධයන් ලෙස අපේද බලාපොරොත්තුව විය යුතු උත්කෘෂ්ට ක්‍රියාව අපි සැහැල්ලුවට ලක් කරන බවයි.

(මා ප්‍රථමයෙන්ම සමාව අයැද සිටියේත් මේ කාරණය සම්බන්ධයෙන් බව මෙහිදී කිව යුතුය.  මන්ද යත් මා ගේ විවේචනය පවතින්නේ මේ අවස්ථාවන් වල මාධ්‍ය භාවිතාව ගැන මිස ක්‍රියාව ගැන නොවන හෙයිනි.)

2. හැරයන දෙයට සාපේක්ෂව ක්‍රියාවේ වටිනාකම මැනීමට අපව උත්සුක කරන නිසාවෙන්,

මෙම මාධ්‍ය භාවිතාවේ මට දැනෙනා ඉතාම දරුණු ප්‍රතිඵලය වන්නේ යමෙකු අත හරිනා අධ්‍යාපනික, ආර්ථික සහ සමාජයීය වටිනා කම් වලට සාපේක්ෂවම "ගිහි ගෙය හැර යාමේ හෝ අත හැරීමේ" බෞද්ධ සංසිද්ධියට වටිනාකමක් ලබා දීමට අපව නිතැතින්ම පෙළඹ වීමයි. ඒ අනුයමින්, අපේ බෞද්ධ අදහස් වලට වටිනාකමක් ලැබෙන්නේම එයට කිසි සේත්ම අදාළ නොවන සංරචක වලින් බවයි මට හැඟෙන්නේ.

උදාහරණයක් ලෙස ගතහොත්, විශ්ව විද්‍යාලයේ විද්‍යා විෂයයන් හැදෑරූවන් පැවිදි බිමට ඇතුළු වීම වඩාත් ඉහළින් සැමරෙන්නේත්, අවධානයට ලක් වන්නේත් බෞද්ධ අපේ හීනමානයක් නිසා බවයි මා සිතන්නේ. ඒ තුළින් විද්‍යාව බොරුවක් ලෙස තහවුරු කර ගැනීමේ අහිංසක ආශාවක් අප තුල තිබීම මේ රෝමාන්තික කරණයේ ප්‍රධාන හේතුවක් ලෙස මා දකිනවා.

මෙහිදී අප සිතා මතාම අමතක කරනා කාරණයක් ලෙස දකින්නේ ශ්‍රී ලාංකික විද්‍යා විෂයයන් හැදෑරූවන් (මාද ඇතුළුව) බොහෝ විට විද්‍යා විෂයයන් වල තාක්ෂණික අංශ පමණක් (එයද හරියාකාරව නොව) හැදෑරූවන් වන බවයි. ඉදින් අප වැන්නවුන් බටහිර විද්‍යාවන් වල අගයන් ප්‍රතික්ෂේප කිරීම එතරම් රෝමාන්තික ලෙස වර්ණනාවන්ට බඳුන් විය යුත්තක් නොවන බවයි මට නම් හැඟෙන්නේ. එයින් වන්නේ බටහිර විද්‍යාවන් සාමාන්‍ය පුද්ගලයින්ට ප්‍රවේශයන් නොමැති රෝමාන්තික සඳළුතල වලට ඔසවා තැබීම මිස අන් කවරක් වත් නොවන බවයි මට නම් හැඟෙන්නේ.

එලෙසින්ම ඔවුන් බටහිර සමාජ වටිනාකම්, ආර්ථික වටිනාකම් අත හැරීම  තුළත් අපි සංස්කෘතිකමය ජයග්‍රහණයක් අහිංසක ලෙස බලාපොරොත්තු වුවත් මට දැනෙනා ලෙසට අවසන සිදු වන්නේ එම සමාජ, ආර්ථික වටිනා කම් පවා සඳළුතල වලට ඔසවා තැබීම පමණයි.

3. සඳහන් වන අධ්‍යාපනික, සමාජ හෝ ආර්ථික මිනුම් දඬු වලට ලඟා වී නැති සාමාන්‍ය ජනයා විඳින දුක (වචනාර්ථයෙන් - දුක්ඛ දුක්ඛ මෙන්ම බෞද්ධ අර්ථයෙන්ද - සංස්කාරික දුක්ඛ ) ඒතරම් සැලකිය යුතු නොවන බව ගම්‍ය කරන නිසාවෙන්,

මෙලෙස අත් හළ සම්පත් අසීමිත ලෙස වර්ණනා කිරීම තුළින් මා දකිනා ලෙසට අත් හැරීමත් ප්‍රමිතිගත කිරීමක් වන බවයි මගේ අදහස.

එයින් ගම්‍ය කරන්නේ අත් හැරීමට නම් යම් ප්‍රමිතිගත ලෞකික (අධ්‍යාපනික, ආර්ථික, සමාජයීය ) වටිනාකම් ප්‍රමාණයක් අත්පත්ව  තිබිය යුතු බවක්. එලෙස අත් හැරීමම උසස් බවක් කල් යනවිට අපට ඒත්තු ගැන්වී තිබේවි.

එමෙන්ම, එවැනි ලෞකික සාර්ථකත්වයක් අත් කර ගැනීමට නොහැකිවූවන්  විඳින සාමාන්‍ය සහ සාංසාරික දුක් යම් පමණකට හෝ මේ මාධ්‍ය භාවිතාවෙන් සහ එයින් පමණක්ම, අවතක්සේරු වන බවයි මගේ හැඟීම.

මට හැඟෙනා පරිදි මොණර පිලේ බොදු උපමාවෙන් සනාථ වෙන්නේත් එලෙස ප්‍රමිතිගත වීම විදුවිය නොයුත්තක් බව.

බොදු පැවිද්දකුත් , බොදු ගිහියකුත් අතර වෙනස විය යුත්තේ, ගිහියා බොදු පැවිද්දට නොගැලපෙන මොණර පිල් බරක් දරාගෙන සිටීමයි. මන්දයත් පැවිද්දා යනු තම මූලික අවශ්‍යතා ඉතාම අවම ලෙස පිරිමසා ගන්නා කෙනෙකු වන ලෙසින්. (බොදු පැවිද්දකුට මා දන්නා ලෙසට පවතින්නේ අත්‍යවශ්‍යතා පමණයි.)

ඉදින් එම මූලික අත්‍යවශ්‍යතා වලට කළඳක් හෝ අමතර කෙලෙස් බරක් දරන් නේ නම් ඔහු සිවුරු නොදැරුවත් දැරුවත් ගිහියකු ලෙසයි මා නම් සිතන්නේ.

ඉදින්  එලෙසින් සුළු හෝ අමතර බරක් දරන ගිහියා හැඳින්වෙන්නේ සසර ගමන නැමැති ආකාශයට මොණරකු ලෙසින් නම්, එම බර කොපමණ වුවත් එයින් මට දැනෙනා ලෙසට අත් හැරීමේ ක්‍රියාවෙහි ලොකු වෙනසක් බලා සිටින අපට දැනිය යුතු නැහැ.

මන්ද යත් අප සාම්ප්‍රදායිකව දන්නා කුරුලු ලොවේ පිල් බර නිසා වැඩිදුරක් පියාඹා නොයන ලොකුම කුරුල්ලා (මට හැඟෙන විදියට )මොණරා වන බැවින්.

ඒ අනුව පැවිදි බරට මදක් හෝ අමතර බර දැරීම මොණරකුම වන්නට හේතුවක් වන බැවින්.


ඒ අමතර බර මරුටියක් හෝ ලැම්බෝගිනියක් විය හැකි වුවත් දෙදෙනාම අවසන් විග්‍රහයේදී මොණරුන්ම වන බැවින්...

Comments

Popular posts from this blog

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොව මගේ වගකීමකි.(පෞද්ගලික වි.වි.කතාවේ පැතිකඩක්.)

(වි ) රහ කතා....