හය හතර පිළිබඳ නවතම අර්ථ දැක්වීමක්...........

 පළමුවෙන්ම සෑහෙන දිනක් ඔබෙන් වසන් වී ඉඳීම ගැන සමාව ඉල්ලිය යුතු බව සිතමි.ඇත්තම කියනවා නම් මා බ්ලොග් කිරීමෙන් වසන් වී සිටියා මිස බ්ලොග් එක මගෙන් වසන් ව නොසිටි බව කිව යුතුය.එසේ නම් මා ඔබ අමතක නොකළ බව එයින් ගම්‍ය වේ යැයි සිතමි.නිදහසට කරුණු විමසනු කැමැත්තෝ සිටියි නම් විභාග කටයුතු සහ ලෙඩ දුන් පරිඝණකය එයට හේතු වූ බව සිත දරා ගනිත්වා.ඒ අතර තුරේ දී මාව මතක් වූ ඔබ හැමට පිං. ඉතින් දැන් මාතෘකාවට.
                     මේ දිනවල ක්‍රිකට් තරඟ පැවතෙන අතර තුරේ මේ ලිපිය ලියන නිසා මේ ක්‍රිකට් ගැන කතාවකැයි සමහරු සිතට ගනු ඇති. එසේ සිතුවේ නම් සහෘදය ඔබ වැරදි බව සිත දරා ගනුව.ඔබ හය හතර වත් නොදන්නෙකි. ආහ් ! හය හතර යනු කුමක්දැයි ඔබ දන්නවාද? (ඉන්න ඉන්න ...මෙය තවත් නීරස ආගමික ලිපියක් නොවෙයි.) අප පැරැන්නන් හය හතර කීවේ නම් දිව්‍ය ලෝක හයටත් අපාය හතරටත් තමා.හොඳයි! වර්තමාන ලෝකයේ දිව්‍ය ලෝක හය හා අපාය හතර මොනවාද යැයි මම ඇසුවහොත් ඔබ දෙන පිළිතුර මම දනිමි.එනම්, මොන මළ කෝලමක්ද යන්නයි.නමුත් මා ඔබට දෙන පිළිතුර මඳක් වෙනස්ය. එනම් දිව්‍ය ලෝක හය යනු 1.)ඇමරිකාව.2.)බ්‍රිතාන්‍යය .3.)ජර්මනිය .4.) ප්‍රංශය. 5.)ජපානය .6.)රුසියාව බවත් අප රට වාසී සමහරකුට අනුව සතර අපාය 1.)සෝමාලියාව 2.) ඉතියෝපියාව 3.)පලස්තීනය හා වර්තමාන අවීචිය; 4.) ශ්‍රී ලංකාව.(මෙහිදී රටවල් තෝරා ගැනීමේදී 6,4 ට අනුකූල වීමට සිදු වූ හෙයින් සමහර රටවල් මඟ හැරී ගිය බවද ඔබට වෙනත් තේරීම් තිබිය හැකි බවද පිළිගනිමි.)
                 මෙය විසිවන සියවසේ ගොං කතාව(සමාවෙන්න 21 ද කොහේද )ලෙස සමහරකුට පෙනී යා හැකි වුවත් මෙය යටින් ඇති කඳුළු කතාව තෝරා ගැනීමට තරම් ඔබ දක්ෂ යැයි සිතමි.කෙසේ වුවත් හුදී ජන පහන් සංවේගය උදෙසා බැඳ ගත් බෙරය ගැසීමේ වගකීම කරට ගනිමි.
                ඔබ කවුරුත් දන්නා පරිදි අපාය වල ඉපදෙන්නේ පවු කර ඇති නිසාය. ඉතින් අපායේ සිටින්නෝ කළ පවු ගෙවති. ඔබ කවුරුත් දන්නා පරිදි අප රට වැනි රටවල් ගණනක ජනතාව ඒ ඒ රටවල ඉපදීම පවක් බවත් ඉන් ගැළවීම සුගතිය බවත් විශ්වාස කරති.ඉතින් අපායෙන් නිදහස් වීමට පිං අවශ්‍යය.ඉතින් මේ රට වල සිටින පවුකාරයනට(එසේ සිතා සිටින අයට.) සමහර විට ග්‍රීන් කාඩ් පුණ්‍ය කර්මය අනුමෝදන් වේ. එවිට ඔවුන් මෙහෙන් චුත වී දිව භවනක වාසයට යති.තවද මා අසා ඇති පරිදි යම පල්ලන් ,යම රජු වන්නේ වේමානිත ප්‍රේතයන්ය;එනම් ඔවුනට තරමකට සැප විඳීමට වරම් ඇත.ඒ පින අවසන් වූ පසු ඔවුන්ද ඒ ඒ විමාන වලින් චුතව යති.අප රටවල දේශපාලක පරපුරද මෙයට සමානුපාතික වනු ඇත.(හරියට පාර්ලිමේන්තුවෙන් චුතව පලාත් සභාවටත් එයින් චුතව පලාත් පාලනයටත් යන්නා වගේ.)දැන් දිව්‍ය භවන වෙත.ඒ දිව් භවන වල මිනිසුන් කළ පිනින් යෙහෙන් වැජඹෙන දේවතාවන්ට හරි ජොලිය. දිව්‍ය අප්සරාවෝ රැඟුම් රඟන විට එහි සැම දාම සිටීමේ භව තන්හාවද පහළ වෙයි.කල්ප වෘක්ෂය යටට වී සිත සිත ඉන්නට පමණි උවමනා.සියල්ල ඔබ සමඟය,ඔබ සතුය...............
             ඉතින් මෙලෙස කියන්නට ගත හොත් නිමාවක් නැත.මා මේ අපායේ(බය වෙන්නට එපා; අපේ කැම්පස් එකේ ඇක(ඩමික්) වැඩ වලට තියෙන කම්පියුටර් ලැබ් එක.)ඉඳන් කොටන්නේ ඇක දැමීමට ආ ගමන් ය. ඉතින් මාද මේ අපායෙන් චුතව ඇක පාරක් දැමීමට යා යුතුව ඇත. ඉතින් යාමට පෙර දිය යුතු පණිවුඩය නම් ඔබත් රට ගැන සිතා සිටින්නේ මෙලෙස නම් එය වෙනස් කළ යුතු කාලය පැමිණ ඇති බවය.තවද එසේ සිතුවා නම් ඔබ ඔබ ගැනම වහ වහා පසුවිපරමක් කළ යුතු බවය. ඉතින් නැවත හමු වන තුරු බුදු සරණයි!

Comments

  1. ලංකාවට අපායක් කීම සම්බන්ධයෙන් මගේ බලවත් විරෝධය...

    පහසු මිලට කාර්. රට වටේ පාරවල් වරායවල්.. උපාධිදාරීන් ගෙන් පිරිණු රටක්.... බුද්ධිමත් උගතුන් පිරුණ රටක්....

    ඇතැම් නිවාස වල සියල්ලන්ම උපාධිදාරීන් වේ...

    ඉතින් මේ අපායක් නම්.. බුද්ධිමත් අපායක්ම නොවේද.....

    ReplyDelete
  2. වටිනා කතාවක් තමා කියලා තියෙන්නේ. අවාසනාවට ඇත්ත කතාවක් :)

    ReplyDelete
  3. අපායේ උනත් දිව්‍ය ලෝකයේ උනත්, නීතියක් කියලා යමක් තියෙනවාය, ඩිසිප්ලින් කියා දෙයක් ද තියනවාය, මේ තියෙන නීතීය හා විනය යමපල්ලන් උවද නිසියාකාරව රකිනු ලබනවාය..

    ලOකාවේ නීතීය කියා දෙයක් ඇති මුත් එහි රැක්මක් නම් නැත්තෙය,,ඩිසිප්ලින් කියා දෙයක් නම් ඇත්තේම නැත,,

    ඒක නිසා මේක දිව්‍ය ලෝකයක් උනත්, අපායක් උනත්, ලේක්ස් කියන හය හතරට පිටින් අළුතින් පහල වු නවතම ගණයේ එකකි..මේ මයියා ට හිතෙන ව්දිහය,,,

    ReplyDelete

Post a Comment

රටේ ලෝකෙන් බැණුම් අහලාවත් හැදෙන්නේ නැතෑ....
ඉතින් මුව හමට තඩිබාන එකයි ඇත්තේ හොදටෝම......

Popular posts from this blog

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොව මගේ වගකීමකි.(පෞද්ගලික වි.වි.කතාවේ පැතිකඩක්.)

(වි ) රහ කතා....