කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

 මෙය පළ කරන්නේ මා බ්ලොග් කීපයක දුටු ලිපි වලට පිළිතුරක් ලෙස වුවද පිළිතුරක්ම නොවන ලෙසය.එනම් මෙමගින් එම ලිපි වල කරුණු එලෙසම නොකියවෙන අතර සෘජු පිළිතුරු දීමක්ද  නොකෙරෙයි.තවද මා මෙහිදී කතාකරන්නේ ඒ ලිපි වල අන්තර්ගතය ලෙස මට හැඟුණු දේ මිස එම ලිපියේ ඇතැයි කියන වූ අන්තර්ගතයක් ගැන නොවෙයි. (මගේ ලෝකය මටය;ඔබේ ලෝකය ඔබටය.)ඉතින් මෙයට පූර්විකාව සපයන,   පිටස්තර අය්යා ත්, ජනිත් අයියා ත්, යසේල අයියා ත් මෙහිදී ස්තූතිපූර්වකව මතක් කළයුතුය.එමෙන්ම ලිපියේ මාතෘකාව ලිපියේ අන්තර්ගතය කියැවෙන්නක් මිස ඔබලාගේ තියුණු නුවණට ඇන්න පොඩි ටොක්කක් නොවන බව කරුණාවෙන් වටහා ගන්නා ලෙස කරුණාවෙන් යළි යළිත් ඉල්ලමි.
                                    හොඳයි දැන් මාතෘකාවට.ලංකාවේ දරුණු සිවිල් යුධ තත්ත්වය අවසන් වූ පසු නිරතුරු ඇසෙන වචන දෙකකි සාමය හා සහජීවනය.කෙසේවුවත් තිස් වසරක යුද්ධය අපට සාමය ඉගැන්වූවත් සහජීවනය යනු කුමක් දැයි අපට නිවැරදිව උගන්වා නැති සෙයකි මට නම් හැඟී යන්නේ.බොහෝ විට ගුවන්විදුලි රූපවාහිනී නාලිකාවල අපට උගන්වන සහජීවනය බිම් මට්ටමේ ක්‍රියාත්මක නොවීම ම හොඳය. ඒ මවන සහජීවනය (එකට ජීවත් වීම;බටහිර Living together නොවෙයි!!!)තම තමන්ගේ ජාතික අනන්‍යතාව විනාශ කොට උපදිනා මව මරා උපදවන කෙසෙ(හෙ යන්න නොදැමීම සදාචාරයට උචිතයැයි සමහරු කියනු ඇත.)ල්මලකි.එනම් එවැනි සහජීවනත්ව පරිසරයක ජාතිකත්වය සඳහන් කිරීමේ ක්‍රියාව බලය ඇත්තවුන්ගේ(මාධ්‍යය හා දේශපාලනය ) පිළිකුළටත්, ධනය ඇත්තවුන්ගේ(වාණිජ පංතිය ) ප්‍රතික්ෂේපයටත් ලක් වීමකි. එනම් කොටින්ම කිවහොත් ආත්ම ඝාතක ක්‍රියාවලියකි.ඉතාම බොලඳ පදනමක් මත ඇති ගොඩනැගිල්ලකි මේ ඊනියා සහජීවනය.(මම ඊනියා යන්න පාවිච්චි කරන්නේ සහජීවනයට පහර ගැසීමට නොව ඒ ප්‍රතිරූපකයට පහර ගැසීමටය.)එනම් එය රැඳී පවතින්නේ සමාජයේ කිසිවකු තම ජාතිකත්වය සඳහන් නොකරන තාක් කල්ය. කිසිවකු තමන් සිංහල ,නැතහොත් තමන් ද්‍රවිඩ යැයි සඳහන් කල විගසම සුළඟට මුහුණ දිය නොහැකි පරඬැලාවක් සේ එම සහජීවනත්ව සමාජය ගරා වැටෙනු ඇත.
                                  ඉතින් මේ පදනමේ පදනම සළකා බලමු. එනම් මිනිසකුට තම ජාතිය ගැන සඳහනක්, නැතහොත් ආගම ගැන සඳහනක් නැතිව විසිය හැක යන්නේ පදනම සලකා බලමු. (නවතම තොරතුරු අනුව ලංකාවද අනාගමික රාජ්‍යයක් වීමට නියමිතය; ඒ ගැන වෙනම සළකා බැලිය යුතුය.)මෙය මිනිසා වියුක්ත ජීවියකු ලෙස ගැනීමේදී වන වැරැද්දකි.දැන් මේ වියුක්ත යන්න පැහැදිළි කරදීම  මා කළ යුතුද? හොඳයි. අයියා යන්න වියුක්ත සංකල්පයකි. එනම් මෙහි එන අයියා ඕනෑම අයියා කෙනෙකි.එම අයියා=පිටස්තර වන විට පිටස්තර අයියා කෙනෙකු වෙයි.(අගෞරවයක් එහෙම කළා නෙවෙයි ;සමාවෙන්න ඕනි!)ගණිතයේ අපි නිතර යොදා ගන්න x,y,z, සංකේත මෙලෙස වියුක්ත ඒවා වෙයි.මෙයට විරුද්ධ සංකල්පය සංයුක්තය යන්නයි. එනම් පිටස්තර අයියා යන්න ඕනෑම පිටස්තර අයියා කෙනෙකු නොවෙයි. ඔහු නිශ්චිත පුද්ගලයෙකි.ඉතින් පිටස්තර අයියාත් යසේල අයියාත් අයියලා ලෙස පමණක් ලෙස සලකා පොදු ගුණ අනුව පමණක් වැඩ කළ විට යම් යම් වැරදි සිදුවෙයි.එසේම ඕනෑම මිනිසකු ගෙන ඔහු ආගමින් ජාතියෙන් වෙන් කර සළකා කටයුතු කිරීමේදීය මේ ගැටළුව පැන නඟින්නේ. එයයි රාමචන්ද්‍රන්ගේ වඩේ මේ මේසෙන් තියන්න එපා.විමල් ගේ කිරිබත් මේ මේසෙන් තියන්න එපා. අපි කාටවත් අයිති නැති(එම නිසාම පොදු;මන්ද කිරිබත් තිබ්බ විට රාමචන්ද්‍රට පේන්න බැරිය,විමල්ට වඩේ පේන්න බැරිය.) කේක් කමු යන්නේ තර්කය.
                                ඉතින් මිනිසකු ඔහුගේ ආගම, ජාතියෙන් වෙන් කර පොදු ලක්ෂණ අනුව පමණක් කටයුතු කිරීම නොවෙයි කළ යුත්තේ.(එය කළ නොහැකි බව පැහැදිළි විය යුතුය.)එනම් කලින් කියූ පරිදි දෙගොල්ලන්ටම කේක් කැවීම නොවෙයි කළ යුත්තේ.රාමචන්ද්‍රට කිරිබතුත්, විමල්ට වඩේත් පෙනෙන්න පුළුවන්(බලන්න පුළුවන්.)වාතාවරණයකි ඇති කළ යුතු. එනම් විවිධත්වය රකින, එය දැරිය හැකි,එය ඉවසිය හැකි වාතාවරණයකි ඇති කළ යුත්තේ.
                              මෙය ජාතිවාදී පදනමක ඉඳ කරන ප්‍රකාශයක් නොවන බවය මට නම් හැඟෙන්නේ. නුමුත් තර්කය ජාතිවාදී නුවූවත් පදනම ජාතිවාදී ලෙස හිතෙන්නට පුළුවනි.කෙසේ වුවත් මෙය සංවාදයට විවෘතයි.ඔබට සමහර කරුණු වලදී මා නිවැරදි කළ හැකි වනු ඇත.ඉතින් නැවත හමුවන තුරු බුදුසරණයි!

Comments

  1. බොහොම හොඳයි !

    ReplyDelete
  2. අපරාදේ කියන්න බැහැ මට නම් කිරිබතුයි වඩේයි මදි නොකියන්න කන්න පුලුවන්...
    මූනිච්ජාවට නැතිව හැබහින් සහජීවනයක් උදා වන දින කවදාද මන්ද? හිතේ එකක් තියන් අතට අත දීල දත නියෙවුවට වැඩක් නැහැ...
    අපූරු ලිපිය...

    ReplyDelete
  3. සෑම මිනිසෙක් තුළම ජාතිය හෝ ආගම කියන අනන්‍යතාවයන් තියනවා මේවා බොහෝ විට තමන් වැඩෙන පරිසරය තුළින් උරුම වෙන දේවල්.ලංකාවේ පදනම තියෙන්නේ සිංහල බෞද්ධ පදනම මත කියන එක කවුරුත් පිළිගත යුතුයි.යම් මේ පදනම තුළ වෙනත් ජාතීන්ගේත් අයිතිවාසිකම් ආරක්ෂා වෙනවා.ඒත් බහු වාර්ගික ..බහු ආගමික කියලා දැනට පවතින පදනම බිඳ දැමීමට උත්සාහ කිරීම වැරදියි.මිනිසුන් තුළ වගේම රටක් තුළත් එහි අනන්‍යතාවය සුරැකී පවතිනවා.එය ෆෝමැට් කරන්න උත්සාහ කිරීම සහ අලුත් පදනමක් (මික්ස් හෝ ඉම්පෝර්ටඩ් ) ඉන්ස්ටෝල් කරන්න දැඟලීමෙන් වෙන්නේ තියන පදනම තුළ එකතු වෙන්න පුළුවන් සමූහයා විසිරීමයි.

    ReplyDelete
  4. අවශ‍ය්‍ය කරුණ එක එල්ලේ පැහැදිලිව කියා ඇති මේ ලිපියට මාගේ නමත් ඇදා තිබීම ගැන පලමුව ඔබට ස්තුතිය.

    ජාතීන් අතර විවිදත්වය හා ඔවුනොවුන් අතර සහයෝගීතාව පිලිබද ඔබ ලිපිය මගින් ඉදිරිපත් කර ඇති කරුණු, මාගේ ඒ පිලිබද මතය හා බොහෝ දුරට සමානුපතික වෙනවා..එයට මා ගොඩක් සතුටුයි..ජනිත ගේ වර්තමාන බ්ලොග් ලිපියේ මා ගේ ප්‍රතිචාර ද මේයට ගොඩක් සමානයි..

    පුර්ණ ගේ අදහස සම්ඹ්හන්දයෙන් මාගේ අදහසක් ලියන්නට හිතුනා..ඒකට ඔයත් පුර්නත් තරහා නොගනී යැයි මා සිතනවා..

    මේ රටේ පදනම සිOහල බෞද බව කවුරුවත් පිලිගන්න ඔනේ කියන එක ගැටලුවක්..අතිතයේ සිට ලාOකීය ශිශ්ටචාරය ගොඩ නැගීමට සිOහල බෞධ පදනම ඉවහල් වී ඇති බව දාගැබ, වැව,ආදි ඓතිහාසික සාදාක මොනවට කියා පානවා.

    නමුත් වර්තමාන සිOහල බොදු සමජය ඒ උරුමය ඉදිරියට ගේන යැමට දක්වන දායකත්වය කුමක්ද? අතිතය සිහි කර කර උජාරු වෙනවට වඩා ලෝකයේ ප්‍රබල ජාතියක් වීමට කරන්න වේන දේයක් අපට නැද්ද්?

    මාගේ අද්හස බුදුදහම පදනම් කරගත් චින්තන විප්ලවය ක් තුලින් වර්තමාන සිOහල බොදු සමාජයට , ලOකාවට මෙන්ම ලොකයට ද අගනා මේහෙයක් කල හැකි බවයි..නමුත් ඒ සදහා යොමු වු ගමනක සේයාවක්වත් මා සිOහල බොදු ස්මාජයත් , ඒ තුල සිටින උගතුන් තුලත් මා දකින්නේ නැ..

    අවසාන වශයේන් අතීතය මත පිහිටා ස්Oස්ක්‍රතික බල පරක්‍රමය අනුන් මත පිහිටුවනවාට වඩා , වර්තමානයේ සිදු කරන ලෝකයට වැඩ දායී සේවාවක් ම්ගින් සිOහල බොදු සමාජයේ වටිනාකම අන් ජාතින්ට එත්තු ගැන්වීම වඩා ප්‍රයොගික යයි මා විශ්වාශ කරනවා..

    අන් අයෙකුගේ මතයකට..අන් අයෙකුගේ බ්ලොගයකදි අදහසක් දැමීම සම්බන්දයෙන් ලෙක්ස් හා පූර්න දෙදෙනාම මා සමග අමනප නොවෙතියි මා බලාපොරොත්තු වේනවා..

    ReplyDelete
  5. මට නම් වඩේ කිරිබත් කේක් වටලප්පන් ඔක්කොම කන්න පුලුවන්

    ReplyDelete
  6. මල්ලී පිටස්තරයා කියා අදහස් කළේ මාව බව පැහැදිලියි. :) ඔයා මේ ලිපිය සංවාදයට විවෘත කරල තියෙන නිසා මගේ අදහස ඉතාම කෙටියෙන් ලියන්නම්. මම පිළිගන්නවා අපි සියළුම දෙනා එකිනෙකාගෙන් වෙනස් වන අතර ජාති වසයෙන්ද භාෂා වසයෙන්ද ආගමික වසයෙන් ද අපි විවිධ වන විට මේ වෙනස තවත් තීව්‍ර වෙනවා කියල. ඒ නිසා සංස්කෘතික වසයෙන් ද පවත්නා වෙනස මා දැඩිව පිළිගන්නා අතර ඒ ඒ සංස්කෘතීන් වෙන්ස් බවත් කිසි සංස්කෘතියක් තව සංස්කෘතියකට උසස් හෝ පහත් යැයි සැලකීමට කිසිවෙකුට අයිතියක් නැති බවත් මා තරයේ විශ්වාස කරනවා. එහෙත් කෙනෙකුට තම සංස්කෘතිය අන් සංස්කෘතීන්ට කිසිලෙසකට නොදෙවෙනි බවත් එසේම වඩාත් උසස් බවත් ඔප්පු කළ හැකි ක්‍රමය ලෙස මා සලකනවා අන් සංස්කෘතීන්ට ඉතා ඉහලින් ගෞරව දැක්වීමෙන්. [අන් ආගම් වලට ගරු කිරීමෙන් ඔබ කියා සිටින්නේ ඔබේ ආගම උසස් බවයි. අසෝක (ක්‍රි පූ 3 සියවස) ගේ 4 වැනි ගිරි ලිපිය].

    මගේ බ්ලොග් අඩවියේ ලියූ ලිපි අතරින් 'සිංහල දෙමළ සහෝදරත්වයේ නාමයෙන්....' යන ලිපිය කෙළින්ම මෙයට අදාලයි. ඒ නිසා ඒ ඒ සංස්කෘතීන් ඒ ඒ ජනකණ්ඩායම් වලට උසස් අයුරින් පවත්වාගෙන යා හැකි නිදහස් පරිසරයක සාමයක් ඇතිවනවා මිස ඉන් මෙපිට සාමයක් ඇතිවීම සිදුවිය හැකි යැයි මා විස්වාස කරන්නේ නෑ.

    නමුත් අම්පාරේ 50 දශකයට පෙර තිබූ සහජීවන ජීවන ක්‍රමයක් ගැන මම ලිව්වා. එය සත්‍ය වශයෙන් තිබූ තත්ත්වයක්. එම තත්ත්වයේ ශේෂමාත්‍ර අදත් දැකගත හැකියි පානම ප්‍රදේශයට ගියොත්. එහි සිංහල දෙමළ බරපතල වෙනසක් වත් හින්දු බෞද්ධ බරපතල වෙනසක් වත් නෑ.

    ජනිත සහෝදරයාගේ ලිපියට මා විසින් ලියන ලද පිළිතුරකින් මා තවදුරටත් එවැනි අදහස් දරන්නෙක් ය කියා හිතන්නට හේතු වෙන්නට ඇති. ඒ ගැන මට කිවහැක්කේ ජනිත සහොදරයා සාකච්ඡාකොට තිබුනේ සංස්කෘතික වෙනස ඉක්මවා ගිය බරපතල බෙදීමක් ජන පිරිස් දෙකක් අතර ඇතිවීමේ පසුබිම පිළිබඳවයි. ඔහු එයට උදාහරණ දී තිබුණා. ඇයි පිල්ලෙයාන්ගේ පිළේ කෙනෙක් තමන් විසින් ගම් වැද අහිංසක සිංහල වැසියන් කපා කොටා මැරූ ආකාරය විස්තර කරන විට ඔහු තුළ කණගා‍ටුවක් ඇති නොවූයේ? ඇයි ඉතා කරුණාවන්ත මිනිසෙකු වූ ජනිත සහෝගේ සීයා දෙමළ කඩ ගිණිතැබීම ගැන කියන විට කිසි අමුත්තක් නොපෙන්වූයෙ? මෙතැන පෙන්නුම් කරන්නේ අන් සංස්කෘතීනට ගරු කිරීමට ඇති අකමැත්තද? මා කියා සිටියේ මෙවැනි තත්වයකට පත් වූ මිනිසුන් තුළ ඇත්තේ සංස්කෘතික වෙනසට එහා ගිය දෙයක් වියයුතු බවයි. මෙහිදී මා ජනිත සහෝදරයා ඉදිරිපත් කළ න්‍යායික තත්ත්වය සමග එකඟයි.

    ඒ හැර මෙහි යසේල සහෝදරයා දක්වා ඇති බොහෝ කරුණු සමග මම සියයට සියයක්ම එකඟ බවද කිව යුතුයි.
    ස්තූතියි.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. ප.ලි.
    දෙමළ සිංහල අපි අතර "බරපතල" සංස්කෘතික වෙනසක් නෑ කියා මම ජනිත් සහොදරයාගේ බ්ලොග් එකේ ලිව්වා. නමුත් මා මෙතන කියන්නේ අපි අතර සංස්කෘතික වෙනසක් නෑ කියා නම් නෙවෙයි. 'බරපතල' වෙනසක් නෑ කියායි.

    සංස්කෘතික වෙනස්කම් සියල්ල තිබිය දී අප අතර ඉතා බලගතු සමානකම් ද තිබෙනවා. ඒ පොදු මනුස්සයින් හැටියට. මාගේ (දෙමළ) ආච්චි අම්මාටත් (සිංහල) සීයාටත් මියයන තුරු ලොකු ප්‍රශ්න නොමැතිව දරුවන් තිදෙනෙකුද ලබා එකට ජීවත් වීමට හැකි වූයේ මේ මා දකින පොදු සමාන කම නිසයි.ඒ අප මනුස්සයින් වන නිසා.

    ReplyDelete
  9. @ යසේල අයියා
    ඔබ කියන කතාව ඉතා නිවැරදියි අද මේ සිංහල බෞද්ධ පදනම ගැන කතා කරන කවුරුවත් එය ගොඩ නැංවීමට කිසි දෙයක් කරලා නැහැ ( බොහෝ දුරට ) ඒකට හේතුව ඔවුන් වසර 300 ක පමණ සිට ලබන්නේ පල්ලිය විසින් නිර්මාණය කරන ලද අධ්‍යාපනයේ නිෂ්පාදන නිසා වෙන්න ඇති.ඔවුන් තුළ ගොඩ නැඟෙන්නේ බටහිරට නැඹුරු හර පද්දතීන් ඒවා තුළ ලංකාවට පැවැත්මක් නැහැ.ඔබ කිව්වා වගේ සංස්කෘතික බලය පටවනවාට වඩා අමතකව ගිය පදනම නැවතුන තැන සිට නැවත(අපේ පදනමක්) ගොඩ නැංවීමට ක්‍රියා
    කිරීම වැදගත්.
    අනේ අයියේ 3 හිතකින්වත් අමනාපයක් නෑ හිහ් හිහ්!!

    ReplyDelete
  10. මුළින්ම වඩේ කිරිබත් හැම එකක්ම කන්න පුළුවන් හැමෝටම මගේ ආචාරය හා කමෙන්ට් කළාට ස්තූතිය...
    @ පූර්ණ:
    මට කියන්න පොඩි දෙයක් තියෙනවා.60% විතර ඉන්න අයගේ බලපෑම නොසළකා හරින්න බෑ. මෙරට සංස්කෘතියේ ප්‍රධාන සංරචකය ගැන විවාදයක් නම් නැහැ. නමුත් මාගේ ලිපියේ හරය පරිදිම එය අනිත් අයට බාධාවක් නොවිය යුතුයි.මම මෙතැන අනිත් අයගේ අයිතිය වගේ දෙයකින් අදහස් කරන්නේ විකෘති කළ දේශපාලන බලයක් නොවෙයි.එනම් 50%වගේ අදහසක් නොවෙයි.බ්ලොග් වල කෙතරම් බලය කියන කරුණ නොසළකා සමානත්වයක් ගැන කතා කළත් එය බිම් මට්ටමේදී හරියන්නේ නැහැ.ඉතින් එය ගැන නිවැරදි අදහසක් තිබියයුතුයි.ඉතින් මේ සමානත්වයත් බල තුලනයත් අතර යම් සමපාතයක් තිබීමට අවශ්‍ය නමුත් එය බිම් මට්ටමේදී එක ලෙසම ක්‍රියාත්මක නොවන බව,විය නොහැකි බව පැහැදිළිවිය යුතුයි.
    @ යසේල අයියා:
    අයියාත් පදනම සම්බන්ධයෙන් දරන්නේ පූර්ණගේම අදහස බව පැහැදිළියි.මාත් වගේම.ඒක නිසා පූර්ණට දුන් පිළිතුරම ඒ සම්බන්ධයෙන් සෑහෙනවා.අනිත් කාරණය තමා ඒ සිංහල පදනම කියන එක පිහිටු වීම කියන එක.මට නම් දැනෙන දේතමා ඒක බලෙන් පිහිට විය යුතු දෙයක් නොවෙයි. එය වර්තමාන සමාජය මත තම ජන කොට්ඨශය තබන සළකුණ මත නිසඟව ලැබෙන්නක්. ඉතින් අයියා කියන විදියටම අපි අතීතය ගැන පමණක්ම හිත හිත ඉන්නවානම් අපට අනාගත සමාජයේ හිමි තැනගැන පැහැදිළියි. අනික මේ තැන කියන දේ අනිත් අය මත කරන බලපෑම ගැන කතා කරද්දී අයියාගේත් මගේත් අදහස් බුදුදහම සමඟ සමපාත වනු ඇතැයි මම හිතනවා. මන්ද තැන නිසඟව ලැබෙන්නක් නම් එය අන් අය මත බලපෑමක් කරනවානම් එය පාලනය විය යුතු පිළිවෙළක් තිබිය යුතුයි.මම හිතන්නේ අපට එය ලැබෙන්නේ බුදුදහමින්.ආහ්! අන්තිමට අවසර නැතිව නම යොදාගත්තාට තරහ අවසර හොඳේ!!!
    @ පිටස්තර -2 අයියා:
    නම අවසරයක් නැතිව යොදාගත්තාට තරහාවෙන්න එපා.මම හිතන්නේ ඉහත කමෙන්ට් වලින් මගේ අදහස තව ටිකක් ,ඒ කියන්නේ අයියාගේ අදහස් වලටත් එක්ක පැහැදිළි කිරීමක් කරලා තියෙනවා කියලා හිතනවා.අයියා අසන ප්‍රශ්න වලට හේතුව මෙන්ම එම ප්‍රශ්නද ඉතා බරපතල බව පිළිගත යුතුයි. ඒ කියන්නේ මිනිසකු තවකෙකුගේ මරණයක් නොව පොඩි තුවාලයක් පවා අසංවේදී වීම ඉතාමත් බරපතල වනවා පමණක් නොව එය සමාජයේ තුළ පවත්නා පිළිල වල සළකුණු බව කිව යුතුයි.ඉතින් මේ පිළිල වලට ඉතාම බොළඳ මට්ටමේ ප්‍රතිකර්මයන් නොයොදා කල්පවතින විසඳුම් ඉදිරිපත් කළයුතු බව කීමමය මගේ මේ ලිපියේ තේරුම.
    @පූර්ණ:
    අවසාන කතාව ගැන නම් තවත් ලිපියක් ලියන්නම වෙනවා.....

    ReplyDelete
  11. සමාවෙන්න ඕන ආයෙත් යමක් ලියනවාට. නැවත සැරයක් ඔබේ ලිපිය කියෙව්වා. මේ ලිපියේ පදනම ජනිත් සහෝදරයාගේ ලිපිය (http://janithck.wordpress.com/2010/05/21/us-vs-them/) සහ එයට මම සහ යසේල සහෝදරයා ඉදිරිපත් කළ කොමෙන්ට්ස් බව ඉතාම පැහැදිලියි.

    මා තෙරුම් ගත් ආකාරයට ජනිත් සහෝදරයා තම ලිපියේ ආරම්භයේ දීම තම අත්දැකීම් තුනක් ආශ්‍රය කරගෙන මතුවන බරපතල විසංවාදයක් ගෙනහැර දක්වනවා. ඒ අනිත් වෙලාවට ඉතාම සාමන්‍ය මිනිසුන් ලෙස ක්‍රියා කරන පුද්ගලයන් තිදෙනක් තමන්ට ප්‍රතිපක්ෂ සේ ඔවුන් හඳුණාගත් මිනිස් කණ්ඩායමකට සිදු වූ මහා විපත්තිකර සිදු වීමක් ඉදිරියේ පමණක් විශ්වාස කළ නොහැකි තරමේ අසංවේදී මිනිසුන් වූයේ කෙසේද යන්නයි. (මෙය මා ඔහුගේ පර්යේෂණ ගැටළුව ලෙස හඳුනාගන්නවා) ඉන් පසු මේ පුද්ගලික අත්දැකීම් තුන ආශ්‍රය කරගෙන අපි ජීවත්වන මුළුසමාජයටම අදාලවන පර්යේෂණයක ඔහු නියැලෙනවා. (යසේල සහෝදරයා මේ පර්යේෂණ උත්සාහය මහත්සේ අගය කර තිබුණා ඔහුගේ පළමු වැනි කොමෙන්ට් එකේ. මම හිතනවා ඔබත් එය අගය කරනවා ඇති කියා).

    අවසානයේ ඔහු තම පර්යේෂණ ගැටළුව ලෙස මතුකළ ප්‍රශ්නයට තම පර්යේෂණය ආශ්‍රයෙන් සොයාගත් පිළිතුර ඉදිරිපත් කරනවා.(ඒ පිළිතුර මා මෙතැන සඳහන් කරන්නේ නෑ).

    මා කැමතියි ඔය සහෝදරවරු දෙන්නා වෙතම පහත පැණය යොමු කරන්න. ඒ ජනිත් සහෝදරයා ඉදිරිපත් කරන 'පර්යේෂණ ගැටළුවට' ඔබලා දෙන පිළිතුර වන්නේ 'සංස්කෘතික විවිධත්වය සහ එකී විවිධත්වයනට ගරු නොකිරීම මේ ආකාරයේ අසංවේදී මිනිසුන් බිහිවීමට හේතුවෙනවා යන්න ද?

    මගේ අදහස නම් 'නැත' යන්නයි. මගේ කොමෙන්ට්ස් තුළ මා ඉදිරිපත් කර ඇත්තේ ඒ අදහසයි.

    සමාවෙන්න මම දිගින් දිගටම ලිව්වට. මම ඔබේ ලිපිය ඉතාම අගය කරන අතර යහපත් සංවාදයක් ගොඩනැංවීමට ඔබ ගන්නා උත්සාහය මහත්සේ අගය කරනවා. ඒ වගේම අපේ මුල් ලිපිවල හරියට පැහැදිලි කරන්න බැරිවුණු යමක් වුණා නම් ඒවා පැහැදිලි කරන්නත් මේ මගින් අවස්ථාව උදාවෙනවා. නැවතත් ඉස්තූතියි.

    ReplyDelete
  12. තව පොඩි පැහැදිලි කිරීමක්. මම ලිව්වා
    //ඒ හැර මෙහි යසේල සහෝදරයා දක්වා ඇති බොහෝ කරුණු සමග මම සියයට සියයක්ම එකඟ බවද කිව යුතුයි// කියල.

    මම මෙහිදී එකඟත්වය පළ කළේ බුදුදහමේ මූලික සංකල්ප මත පිහිටා ගොඩනංවන පාලන ක්‍රමයක් සමඟයි. එනම් දයාව කරුණාව මෛත්‍රිය, සතර සංග්‍රහ වස්ථුවල දේශනා කොට ඇති සමානාත්මතා සංකල්පය සහ හේතුඵලවාදයත් අනිත්‍යතා සංකල්පයත් හිත්හි දරාගෙන ලියැවෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, පාලන ආකෘතියක් පිළිබඳ මාගේ ඇති එකඟත්වයයි. දොහොත් මුදුන් දීල සමාව අයදිනව මම කී දෙයින් සිංහල බුද්ධාගමක් ගැන හෝ සිංහල බෞද්ධ සංස්කෘතියක් ගැන මා අදහස් කළා කියල තේරුණා නම්. මා පිළිගන්නා පරිදි ක්‍රි. පූ. 6 සියවසේ ඉන්දියාවේ ජීවත් වූ බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය කිසිලෙසකින් කිසියම් ජාතියක් හා සම්බන්ධවන්නේ නෑ. එය පොදු මිනිස් වර්ගයාටම අදාල එකක්. කිසියම් ජාතියක් හා සම්බන්ධ කරන ප්‍රමාණයට අපි ඒ මූලික දර්ශනයෙන් ඈත්වෙනවාය යනු මාගේ පුද්ගලික හැඟීමයි. මෙය මෙහි අදහස් දක්වා ඇති අයගේ මත සම්බන්ධයෙන් ඉදිරිපත් කරන විවේචනයක් නෙවෙයි. මගේ අදහස පැහැදිලි කිරීමක් විතරයි.

    ලේක්ස් මල්ලී.. අයේ කරදර කරන්න එන්නෙ නෑ. කෙලින්ම මට අදාල කරල යමක් ලියැවුනොත් විතරයි ආයෙ මම එන්නෙ.

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. " එනම් දයාව කරුණාව මෛත්‍රිය, සතර සංග්‍රහ වස්ථුවල දේශනා කොට ඇති සමානාත්මතා සංකල්පය සහ හේතුඵලවාදයත් අනිත්‍යතා සංකල්පයත් හිත්හි දරාගෙන ලියැවෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්, පාලන ආකෘතියක් පිළිබඳ මාගේ ඇති එකඟත්වයයි. දොහොත් මුදුන් දීල සමාව අයදිනව මම කී දෙයින් සිංහල බුද්ධාගමක් ගැන හෝ සිංහල බෞද්ධ සංස්කෘතියක් ගැන මා අදහස් කළා කියල තේරුණා නම්."
    අයියා ඒ ගැන කියන දෙයක් නැහැ. මොකද බුද්ධාගම මත පදනම් වෙනවා කිව්ව ගමන් ම කවුරු උනත් දැන ගන්න ඕනි බුද්ධාගමේ පදනමේ ම තිබෙන්නේ සමානාත්මතාව සහජීවනය වැනි සංකල්ප බව. එම නිසා එහෙම අදහසක් ඇති උනානම් එය වෙනස් කළ යුතු නැති බවයි මගේ මතය.

    කියන්න ඕනි අනිත් දේ තමයි මාත් ජනිත් අයියගේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන මහත් සේ අගය කරන බව.මගේ මාතෘකාවේ තිබෙන උපහාසය ඒ වගේ සංවේදී හිතකට නොදැනෙන්න තමා මම මුළිනුත් කිව්වේ ඒ උපහාසය මාතෘකාවටම සීමා වූ බව.ඒ වගේම තමා අසංවේදී හිත් ගොඩක් අතරේ ඒ හිත් ප්‍රශ්න කිරීමටත් ඒ පදනම වැරදියි කියන්නටත් සෑහෙන ධෛර්ය යක් ඕනි වෙනවා. ඉතින් ගරු කරනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න මට බැරි බවයි මට නම් හැඟෙන්නේ.

    "ඒ අනිත් වෙලාවට ඉතාම සාමන්‍ය මිනිසුන් ලෙස ක්‍රියා කරන පුද්ගලයන් තිදෙනක් තමන්ට ප්‍රතිපක්ෂ සේ ඔවුන් හඳුණාගත් මිනිස් කණ්ඩායමකට සිදු වූ මහා විපත්තිකර සිදු වීමක් ඉදිරියේ පමණක් විශ්වාස කළ නොහැකි තරමේ අසංවේදී මිනිසුන් වූයේ කෙසේද යන්නයි."
    "'පර්යේෂණ ගැටළුවට' ඔබලා දෙන පිළිතුර වන්නේ 'සංස්කෘතික විවිධත්වය සහ එකී විවිධත්වයනට ගරු නොකිරීම මේ ආකාරයේ අසංවේදී මිනිසුන් බිහිවීමට හේතුවෙනවා යන්න ද?
    "මගේ පිළිතුරද "නැත" යන්නයි.මේ ලිපියේ අන්තර්ගයට වැරදි අර්ථ කථනයක් බවයි මටනම් හැඟෙන්නේ.මගේ ලිපියේ අරමුණ වූයේ මිනිසුන්ගේ මේ අසංවේදීතාවට පිළිතුර සෙවීම නොව, මේ අසංවේදීතාවට ,පිළියමක් ලෙස අපේ මිනිසුන් සොයා ගෙන ඇති පිළිතුර අසම්පූර්ණ තාව පැහැදිළි කිරීමයි.ඒ හැර සංස්කෘතික විවිධත්වය පිළිගැනීමම යනු මෙවැනි ගැටළු අඩු කරන්නක් බව කිව යුතු නැහැ. මම කියන්නේ සංස්කෘතික විවිධත්වය පිළිගැනීමට නොහැකිවීමේ වරදට එවැන්නක් නැතය සළකා එයට පිළියම් යෙදීමෙන් එයට පිළිතුරක් සොයාගත නොහැකි බවයි.එවැනි විසඳුමකදී අනිවාර්යයෙන්ම එය සැලැකිල්ලට ගත යුතු බවයි මම කියන්නට උත්සාහ ගත්තේ.

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. මල්ලී, ඔයාගේ ලිපිය සම්බන්ධයෙන් වත් ඉන්පසු ඊට අදාලව ඔයා ඉදිරිපත් කර ඇති අදහස් සම්බන්ධයෙන් වත් මට කිසිම විසංවාදයක් නෑ. සැක දුරු කරගන්නයි ඒ ප්‍රශ්නය යොමු කළේ. නමුත් මම ඒ ලිපිය ටයිප් කරන අතර ඔයා පිළිතුරක් ලියා පළ කර ඇති බව මම දැනහිටියේ නෑ. ඒක දැක්කේ මගේ ලිපිය පලකළාට පස්සේ. දැන් ඒක හරි.

    බුදුදහමේ ගැඹුරු සංකල්ප කිසිම ජාතියක් සමඟ සම්බන්ද කරගන්නේ නැතිව කිසිම ජාතියකට විශේෂ අයිතියක් කියාපාන්නේ නැතිව භාවිතයට ගන්නා ඕනෑම තත්ත්වයක දී මම ඒවාට එකඟයි.

    ReplyDelete
  17. පළමුවෙන්ම මගේ ලිපියට ප්රතිචාරයක් දැක්වීම සම්බන්ධයෙන් ලෙක්ස් මල්ලිට (මල්ලි කියල කීවේ මට අය්ය කියපු හින්ද මිස පහලට දාල කතා කරන්න නොවෙය් බොහොම ස්තුතිය්.
    ඒ වගේම ඒට පෙරලා ප්රතිචාර දක්වන්න පමා වුනු එකටත් සමා වෙන්න ඕනේ.හැබැය් ඒ පමාව නිසා මට කිවයුතු දේවල් හුඟාක් අඩු වෙලා බවය් හිතෙන්නේ. (ඒවා ටික ඔක්කොම අනිත් අය මට කලින් කියල.)

    “මිනිසකුට තම ජාතිය ගැන සඳහනක්, නැතහොත් ආගම ගැන සඳහනක් නැතිව විසිය හැක”
    කවුද මේ කතාව කිවේ, මල්ලි? මට නම් ඒකට කොහොමට වත් එකඟ වෙන්න බෑ.

    “ඉතින් මිනිසකු ඔහුගේ ආගම, ජාතියෙන් වෙන් කර පොදු ලක්ෂණ අනුව පමණක් කටයුතු කිරීම නොවෙයි කළ යුත්තේ.(එය කළ නොහැකි බව පැහැදිළි විය යුතුය.)එනම් කලින් කියූ පරිදි දෙගොල්ලන්ටම කේක් කැවීම නොවෙයි කළ යුත්තේ.රාමචන්ද්රට කිරිබතුත්, විමල්ට වඩේත් පෙනෙන්න පුළුවන්(බලන්න පුළුවන්.)වාතාවරණයකි ඇති කළ යුතු. එනම් විවිධත්වය රකින, එය දැරිය හැකි,එය ඉවසිය හැකි වාතාවරණයකි ඇති කළ යුත්තේ.”
    මම මේ ප්රකාශයට හරි කමතිය් ඒ වගේම ඒ ප්රකාශයට සම්පුර්ණයෙන්ම එකඟ වෙනවා.

    contd;

    ReplyDelete
  18. මා උත්සාහ කලේ විස්තර කල පරිදි “සාමාන්ය” මිනිසුන් අසංවේදී වීමට හේතුවක් සේවිමටය්. මා මුල් ලිපියෙන් ඉදිරිපත් කරන්නේ එයය්. (මා මුළු ලිපියම ලියා ඇත්තේ එය ඉදිරිපත් කිරීමට වන බැවින් මෙහිදී එය නැවත කීමට යන්නේ නැහැ.). මෙහිදී මා ඉදිරිපත් කරන පිළිතුර සියලු අවස්ථා වලට සාධාරණ වන “මැජික්” පිළිතුරක් නොවෙය්. මා අවසාන කතා දෙක ඉදිරිපත් කලේ එසේ නොවන බව පෙන්වීමටය්. එසේම එය මා අවංක ලෙස ඉදිරිපත් කල අදහසක් පමනය්. එය අන් අයට බලහත්කාරයෙන් ඒත්තු ගැන්වීමට මා කිසිසේත්ම අදහස් කරන්නේ නැහැ. එහි අඩුපාඩු වැරදි බොහොම තියෙන්න පුළුවන් බවත් මම දන්නවා. (පෙන්වල දුන් විට පිළිගන්න සුදානම්!)
    මගේ මුල් ලිපිය සම්බන්ධයෙන් ඔබ දක්වා ඇති උනන්දුව සහ ඒ ගැන කල අගය කිරීම මම හුඟාක් අගය කරනවා. නමුත් මම ගැටලුව සඳහා පිළිතුර ලෙස ඔබ කියන ආකාරයේ “විවිධත්වය නැති ලෝකයක්” පිළිතුර ලෙස ඉදිරිපත් කලේ නැහැ. ඒ බව මම මුල් ලිපියේ සහ ප්ර තිචාර වල නැවත නැවතත් කියා තිබෙනවා. එසේම ‘සංස්කෘතික විවිධත්වය සහ එකී විවිධත්වයනට ගරු නොකිරීම මේ ආකාරයේ අසංවේදී මිනිසුන් බිහිවීමට හේතුවෙනවා’ යන අසම්පුර්ණ පිළිතුරත් මා කිසිවිටක ඉදිරිපත් කර නැහැ. එනිසා එවැනි ප්ර කාශ සම්බන්ධයෙන් මා අදහස් දැක්වීමට යන්නේ නැහැ.

    contd;

    ReplyDelete
  19. මම මිනිසුන්ට වියුක්ත ලක්ෂණ(සියලු මිනිසුනට පොදු වන වේදනාවට-මරණයට බියවීම, බඩගිනි වීම, තම දරුවන් රැකීම, ගරුත්වයක් ඇතිව ජීවත් වීමට ඇති කැමැත්ත වැනි ලක්ෂණ ) ලෙස මෙන්ම සංයුක්ත ලක්ෂණ(ජාතිය, ආගම, සමාජ පන්තිය, කුලය මෙන්ම පුද්ගලයාට අනන්ය වූ ලක්ෂණ) ඇති බව දනිමි. එම වියුක්ත බව හා සංයුක්ත බව එකවිට පවතින බව මගේ වැටහීමය්. (එක තේරුම් ගන්න නාගර්ජුන පාදයන් වහන්සේ දේශනා කල චතුස්කෝටිකය නැත්නම් ලොෆ්ටි සද්හේ ඉදිරිපත් කල fuzzy logic පාවිච්චි කරන්න පුළුවන්.

    මා වෙනුවෙන් අදහස් ඉදිරිපත් කල පිටස්තරයටත් යසේලටත් බොහොම ඉස්තුතිය්.

    අවසාන වශයෙන් කියන්න ඕනේ මමත් වැඩේ, කැවුම්, කිරිබත්, වටලප්පන් විතරක් නොවෙය් දැන් ඔය පොස් කඩවල් වල විකුනන්න තියන ශවර්ම වගේ කෑමත් කනවා. බඩජාරි කමනේ

    ReplyDelete
  20. PS - My apologies for spelling mistakes and all the smilies which had been lost during the process of copying and pasting :)

    ReplyDelete
  21. @ ජනිත් අයියා:
    මම මෙතන ආයෙමත් කලින් කියපු දේවල් දෙක තුනක් ලියන්න කැමතියි.

    අංක 1.
    "මෙය පළ කරන්නේ මා බ්ලොග් කීපයක දුටු ලිපි වලට පිළිතුරක් ලෙස වුවද පිළිතුරක්ම නොවන ලෙසය.එනම් මෙමගින් එම ලිපි වල කරුණු එලෙසම නොකියවෙන අතර සෘජු පිළිතුරු දීමක්ද නොකෙරෙයි.තවද මා මෙහිදී කතාකරන්නේ ඒ ලිපි වල අන්තර්ගතය ලෙස මට හැඟුණු දේ මිස එම ලිපියේ ඇතැයි කියන වූ අන්තර්ගතයක් ගැන නොවෙයි."

    අංක 2.
    "“මිනිසකුට තම ජාතිය ගැන සඳහනක්, නැතහොත් ආගම ගැන සඳහනක් නැතිව විසිය හැක”

    මේක කවුරුවත් විසින් කියන ලද්දක් නොව මම මේ අමුතු ආකාරයේ සහජීවනයේ පදනම ලෙස සිතා ගත් පිළිතුරක්.එම නිසා එය එළියට දැමීමේ වගකීම මම භාර ගන්නවා.කොහොම උනත් මම එය නිවැරදි අදහසක් ලෙස නෙවෙයි ගන්නේ.

    “ඉතින් මිනිසකු ඔහුගේ ආගම, ජාතියෙන් වෙන් කර පොදු ලක්ෂණ අනුව පමණක් කටයුතු කිරීම නොවෙයි කළ යුත්තේ.(එය කළ නොහැකි බව පැහැදිළි විය යුතුය.)එනම් කලින් කියූ පරිදි දෙගොල්ලන්ටම කේක් කැවීම නොවෙයි කළ යුත්තේ.රාමචන්ද්රට කිරිබතුත්, විමල්ට වඩේත් පෙනෙන්න පුළුවන්(බලන්න පුළුවන්.)වාතාවරණයකි ඇති කළ යුතු. එනම් විවිධත්වය රකින, එය දැරිය හැකි,එය ඉවසිය හැකි වාතාවරණයකි ඇති කළ යුත්තේ.”
    මම මේ ප්රකාශයට හරි කමතිය් ඒ වගේම ඒ ප්රකාශයට සම්පුර්ණයෙන්ම එකඟ වෙනවා."

    එය නිසායි මම මේ දේ කියන්නේ.අයියා ඒ දේ ගැන එකඟ වීම සතුටක්.

    අංක 3.
    "මා උත්සාහ කලේ විස්තර කල පරිදි “සාමාන්ය” මිනිසුන් අසංවේදී වීමට හේතුවක් සේවිමටය්."

    අයියාගේ උත්සාහය එසේ සාමාන්‍යය මිනිසුන් අසංවේදී වීමත හේතුව සෙවීම වන අතර මගේ උත්සාහය වූයේ මේ අසංවේදීතා ව නැති කිරීමට ය කියා මිනිසුන් ගෙන ඇති පියවර වල අඩුපාඩු පෙන්වීමය.අනික මා කිසිවිටක අයියාගේ උත්සාහයේ වැරැද්දක් දුටු බව කියා පෑමට වත් උත්සාහයක් දරා නැහැ. ඒක නිසයි මම මෙහෙම ලියන්නේ පිටස්තර අයියාට පිළිතුරු ලෙස.

    "කියන්න ඕනි අනිත් දේ තමයි මාත් ජනිත් අයියගේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන මහත් සේ අගය කරන බව.මගේ මාතෘකාවේ තිබෙන උපහාසය ඒ වගේ සංවේදී හිතකට නොදැනෙන්න තමා මම මුළිනුත් කිව්වේ ඒ උපහාසය මාතෘකාවටම සීමා වූ බව.ඒ වගේම තමා අසංවේදී හිත් ගොඩක් අතරේ ඒ හිත් ප්‍රශ්න කිරීමටත් ඒ පදනම වැරදියි කියන්නටත් සෑහෙන ධෛර්ය යක් ඕනි වෙනවා. ඉතින් ගරු කරනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න මට බැරි බවයි මට නම් හැඟෙන්නේ. "

    අංක 4.
    අවසානයට කියා ඇති දෙය ගැන නම් කිව යුත්තේ මම මුලින්ම කියූ දෙයම තමයි.

    එනම්""මෙය පළ කරන්නේ මා බ්ලොග් කීපයක දුටු ලිපි වලට පිළිතුරක් ලෙස වුවද පිළිතුරක්ම නොවන ලෙසය.එනම් මෙමගින් එම ලිපි වල කරුණු එලෙසම නොකියවෙන අතර සෘජු පිළිතුරු දීමක්ද නොකෙරෙයි.තවද මා මෙහිදී කතාකරන්නේ ඒ ලිපි වල අන්තර්ගතය ලෙස මට හැඟුණු දේ මිස එම ලිපියේ ඇතැයි කියන වූ අන්තර්ගතයක් ගැන නොවෙයි."

    අංක 5.
    "මම මිනිසුන්ට වියුක්ත ලක්ෂණ(සියලු මිනිසුනට පොදු වන වේදනාවට-මරණයට බියවීම, බඩගිනි වීම, තම දරුවන් රැකීම, ගරුත්වයක් ඇතිව ජීවත් වීමට ඇති කැමැත්ත වැනි ලක්ෂණ ) ලෙස මෙන්ම සංයුක්ත ලක්ෂණ(ජාතිය, ආගම, සමාජ පන්තිය, කුලය මෙන්ම පුද්ගලයාට අනන්ය වූ ලක්ෂණ) ඇති බව දනිමි. එම වියුක්ත බව හා සංයුක්ත බව එකවිට පවතින බව මගේ වැටහීමය්."

    එය එසේ නම් කිසිම විවාදයක් නැති බවට විවාදයක් නැත.මගේත් අදහස වූයේ එයම නිසා ජනිත් අයියේ මා කියන්නට උත්සාහකළ දේ තවත් තහවුරු වුනු බවයි මට නම් හැඟෙන්නේ.ඉතින් මා කියන්නට උත්සාහ කළේ එම සංයුක්ත බව නොසළකා විවිධත්වය තුළ මතු වන ගැටළු වලට පිළියම් සෙවිය නොහැකි බව පමණයි.

    දීර්ඝ කමෙන්ට් මඟින් මේ පිළිබඳව උනන්දුව පෙන්වූවාට ස්තූතියි.

    ReplyDelete
  22. හැමදෙනාම හුඟක් වටිනා කියන අදහස් දක්වලා තියෙන නිසා අමුතුවෙන් එකතු කරන්න දෙයක් මතක් වුනේ නැහැ. ඒත් මට මතක් වුණු පොඩි දෙයක් මේ සංවාදයට එකතු කරන්න කැමතියි. මමත් මේ කතාව දැක්කේ මුතුහර සඟරාවකින්.

    " මිනිසා ආගම වෙනුවෙන් තමන්ගේ උපරිම කැපකිරිම කරයි. ආගම වෙනුවෙන් යුධ වැදීම, ආගම ව්‍යාප්ත කිරීම වැනි දේ ද කරති. නමුත් නොකරන්නේ ආගමට අනුව ජීවත් වීමය "

    ReplyDelete
  23. ඊනියා දේශප්‍රේමී දේශපාලු කරන එවුන් හින්ද තමයි අයියෙ හැම දේම වෙන්නෙ

    ReplyDelete
  24. @ හසිත (ආගිය කතාවේ!):
    කතාව නව මානයකට ගෙන ගියාට ස්තූතිය. ඒ ගැන නම් කමෙන්ට් කරලා ඇති වැඩක් නෑ. මොකද වෙනම ලිපියක් ලියන්න ඕනි. දැනට මම පූර්ණ සහයෝගය ප්‍රකාශ කලා කියල විතරක් මතක තියා ගන්න.....

    ReplyDelete
  25. @ හසිත මල්ලී:
    ඒකනම් එහෙම තමා.

    ReplyDelete
  26. වැදගත් ලිපියක්...
    අපට ආගමක් ජාතියක් ඕනවෙන්නේ ඒවායින් ජීවිතයට ගන්න තියෙන දේවල් අරගෙන පරපුරක් හැටියට ඉදිරියට යන්න මිසක් ඒවායෙ නාමයෙන් ඇනකොටාගන්න නෙවෙයි..නමුත් දැන් වෙන්නෙ ඒක..කොහොම උනත් මේ යන විදියට ගියොත් මේ රටෙන්, ලෝකයෙන් සිංහලයා තුරන්වන කාලය වැඩි ඈතක නෙවි..අපේ ටික දෙනෙක් අතීතය ගැනා පාරම්බානෝ මිසක් කරන වෙන දෙයක් නෑ..තව ටික දෙනෙක්ට ඉතිහාසයෙන් වැඩක් නෑ..උන්ට ජාතියෙන් ජන්මයෙන් වැඩක් නෑ..ඕපපාතිකයෝ වගේ ජීවත්වෙන්න..තව ටික දෙනෙක් ඕන පුකක් වෙච්චාවෙ කියලා බලන් ඉන්නෝ. සිංහල බෞද්ධ කියලා කෑගහන උන් අඩුමගානේ පන්සිල් පද පහ වත් රකින්න උත්සාහකරන්නෙවත් නෑ.උන්ගෙ හිත්වල සිංහල කමකුත් නෑ..සිංහලයා ලඟ තිඹුණ හොඳ ගති පැවතුම් අමතක වෙලා..

    ReplyDelete
  27. ලෙක්ස් මොකද සද්දයක්වත් නැත්තේ ?

    ReplyDelete

Post a Comment

රටේ ලෝකෙන් බැණුම් අහලාවත් හැදෙන්නේ නැතෑ....
ඉතින් මුව හමට තඩිබාන එකයි ඇත්තේ හොදටෝම......

Popular posts from this blog

ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොව මගේ වගකීමකි.(පෞද්ගලික වි.වි.කතාවේ පැතිකඩක්.)

The Condemned!